වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා සියලූ ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් සහ ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් ආරම්භ කළ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2015 වර්ෂය සඳහා තෝරාගත් ශිෂ්‍යත්වලාභීන් 145 කට නිල වශයෙන් සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (18) උදෑසන ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා, ගරු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයෙහි නියැලී සිටින මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන්ට මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව හිමිවිය.
දේශීය විශ්වවිද්‍යාල, රජයේ උසස් අධ්‍යාපන හා පුහුණු ආයතන මගින් පවත්වනු ලබන පශ්චාත් උපාධි, කෙටි කාලීන සහ දිගු කාලීන සහතික පත්‍ර සහ ඩිප්ලෝමා පාඨමාලා මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ මාධ්‍යවේදීන් හට තෝරාගත හැකිය. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව සිදුකරනු ලබන මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ ආපසු නොගෙවීමේ පදනම මත රු.100,000 ක උපරිමයට යටත්ව ශිෂ්‍යත්වලාභීන් වෙත පාඨමාලා ගාස්තු සඳහා ගෙවීම් කරනු ලැබේ.
විසිඑක් වන සියවසේ අභියෝගයට මුහුණ දෙනු වස් මාධ්‍යවේදීන් හට පුහුණු පාඨමාලා මගින් තම වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සලසා දීම උනන්දු කරවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. මෙම අවස්ථාවට රාජ්‍ය මෙන්ම පුද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ අමාත්‍යාංශ නිළධාරීන් රැසක්ද එක්ව සිටියහ.