2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සමීක්ෂණයට 2015 වර්ෂයේ ප්‍රථම වරට නිකුත් කරනු ලද ග්‍රන්ථ දැන් බාරගනු ලැබේ.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව වාර්ෂිකව රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සංවිධානය කරනු ලබයි.

2016 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සදහා 2015 වර්ෂය තුළ ප්‍රකාශිත ග්‍රන්ථ සමීක්ෂණය කෙරෙන අතර සමීක්ෂණ ක්‍රියාවලිය වඩා විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ලේඛක ලේඛීකාවන් හා ග්‍රන්ථ ප්‍රකාශක භවතුන්ට සෘජුවම ග්‍රන්ථ භාරදීම සදහා අවස්ථාව සළසාදීමට මෙවර තීරණය කොට තිබේ.

ඒ අනුව 2015 වර්ෂයේ ජනවාරි 01 වැනි දින සිට එම වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දින දක්වා අතර කාලය තුළ පළමු වරට මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලද පිටු 48 වඩා වැඩි පොත්, එක් පොතකින් මුද්‍රිත පිටපත් (02) දෙක බැගින් බාරගනු ලබන අතර මෙම ග්‍රන්ථ සාහිත්‍ය උත්සව සංවිධාන අංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 08 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ අතින් ගෙනවිත් භාරදීමට පුළුවන. ග්‍රන්ථ භාරගැනීමේ 2016 පෙබරවාරි මස 29 වැනි දින අවසන් වෙයි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා වන ග්‍රන්ථ සමීක්ෂණයට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ප්‍රකාශිත
ස්වතන්ත්‍ර නවකතා, ස්වතන්ත්‍ර කෙටිකතා, ස්වතන්ත්‍ර පද්‍ය කෘති, ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘති, ස්වතන්ත්‍ර
ගීත රචනා සංග්‍රහ,ස්වතන්ත්‍ර නාට්‍ය,ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ, ළමා සාහිත්‍ය කෘති, ශාස්ත්‍රීය හා පර්යේෂණ, පරිවර්තන
නවකතා, පරිවර්තන කෙටිකතා,පරිවර්තන පද්‍ය කෘති , පරිවර්තන නාට්‍ය, පරිවර්තන ශාස්ත්‍රීය හා පර්යේෂණ, විවිධ විෂයක ග්‍රන්ථ බාරගනු ලැබේ.

මේ පිළිබඳ වැඩි විස්තර 011 2 872030 හෝ 0112 872031 දුරකථන අංක වලින් විමසිය හැකි හැකි බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය නිවේදනය කරයි