යුද්ධය හේතුවෙන් ජනතාව අත්හැර දැමූ සහ සංවර්ධනයට ලක් නොවූ පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ දුෂ්කර ප‍්‍රදේශ සංවර්ධනය සඳහා විදේශ ආධාර සපයාදීමේ අරමුණින් රටවල් 33 ක තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු නියෝජිතයින් ඊයේ (14) පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ සංචාරයක නිරත වූහ.

මැදිරිගිරිය මීගස්වැව ප‍්‍රදේශයෙන් සංචාරය ආරම්භ කෙරුණු අතර වඩිගවැව ගම්මානය ගොඩපොත්ත – බේරුවිල මාර්ගයේ පතොක්වැව හන්දියේ සිට පල්ලියගොඩැල්ල මාර්ගය තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ විදෙස් නියෝජිතයින්ගේ නිරික්ෂණයට ලක් විය.
ඔවුන් වෙනුවෙන් සූදානම් කළ දිවා භෝජන සංග‍්‍රහය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුවේ දී පැවැත්විණි.
අනතුරුව තානාපතිවරුන් ඇතුළු පිරිස වැලිකන්ද ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨසයේ මහවැලිතැන්න ගම්මානයේ සහ සිංහපුර පාසල, කුඩාපොකුණ මුස්ලිම් සහ දෙමළ ගම්මාන නිරික්ෂණයට එක් විය.
ජපානය, නෙදර්ලන්තය, කැනඩාව, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, මියන්මාරය, ඉරානය, බ‍්‍රසීලය, කොරියාව, ඉතාලිය, පාකිස්ථානය ඊජිප්තුව, වියට්නාමය, මාලදිවයින ඇතුළු රටවල් 33 ක් නියෝජනය කරමින් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ නියෝජිතයින් සංචාරයට එක් විය.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි.