අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් පාකිස්ථානයේ ලාහෝර් නුවර සිදු වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය තමා දැඩි ලෙස හෙළා දකින බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ මෙම ශෝකී අවස්ථාවේ ශී‍්‍ර ලංකාව පාකිස්ථාන රජය හා ජනතාව සමඟ එක්සත්ව අත්වැල් බැඳ ගන්නා බවයි. ප‍්‍රහාරයට ගොදුරුවූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට තම බලවත් ශෝකය ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ද ප‍්‍රාර්ථනා කළේය.

තම වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ආසියානු රාජ්‍ය වෙත පැවරී ඇති මගහැර යා නොහැකි වගකීමක් බව ද ජනාධිපතිතුමා සිය පණිවිඩය තුළින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.