මහජනතාවට තොරතුරු ලබාගැනීමට පෙර පරිදි නිලධාරීන්ට විරුද්ධ විය නොහැකි අතර තොරතුරු දැනගැනීම සඳහා නීතියෙන් තොරතුරු ලබාදෙන නිලධාරියකු පත් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා පවසයි.

කිසියම් හේතුවකින් නිලධාරියා තමන්ගේ අභිමතය පරිදි තොරතුරු ලබාදීම මඟහැරියහොත් ඔහු අනිවාර්ය වරදකරුවකු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය. මේ පනත මහජන අධිකාරියට උපරිම ආකාරයේ විවෘත වන අතර, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හා යහපාලනය තහවුරු කරගැනීමටද මෙමඟින් ඉඩප්‍රස්තාව සැලැසෙන බවද ඔහු පැවැසීය.

තොරතුරු වාර්තා කිරීමේ විශ්වසනීය මූලාශ්‍රයන් මාධ්‍යවේදීන්ට ලැබෙන අතර, මෙයින් වක්‍රාකාරයේ මාධ්‍ය නිදහසට පිටිවහලක් සැලසෙන බවද පැවැසීය. තොරතුරු වාර්තා කිරීමේදී මහජනයා නිරන්තර විමසිලිමත් භාවයෙන් පසු වන අතර, එමඟින් සියලුදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකෙන බවද ඔහු තවදුරටත් පැවැසුවේය.