ශී්‍ර ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව ක්‍රියාවට නංවනු ලබන මාධ්‍යවේදී පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීමේ ව්‍යාපෘතිය, ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2016 නමින් මේ වසරේදීත් ක්‍රියාවට නංවන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ වයස අවුරුදු 18 - 55ත් අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හා වෙබ් මාධ්‍යවේදීන්ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහනින් මාධ්‍යවේදී පුහුණු පාඨමාලා සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්වය ආපසු නොගෙවන රුපියල් ලක්ෂයක උපරිම මුදලකට යටත් වේ. අයදුම්කරුවන් පිළිගත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන පුහුණු ආයතන මගින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට ඍජුවම සම්බන්ධ පශ්චාත් උපාධි (ශාස්ත්‍රපති), උපාධි, ඩිප්ලෝමා, හෝ දිගු කාලීන හා කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාවක් සඳහා තෝරා ගෙන හෝ දැනට එවැනි පාඨමාලා හදාරන්නන් විය යුතුය. තවද සියලූම අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත ලබා තිබිය යුතුය. එසේම ඇසිදිසි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ මීට පෙර මූල්‍යමය ප්‍රතිපාදන ලබා ඇති මාධ්‍යවේදීන්ට මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළ නොහැක.
මේ සඳහා යොමු කරන සියලූම අයදුම්පත් 2016.04.30 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු වේ.
"ඇසිදිසි ශිෂ්‍යත්ව වැඩසටහන - 2016" පිළිබඳ වැඩි විස්තර 0112513645, 0112513459 සහ 0112513460 ඇමතීමෙන් සහ ආදර්ශ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.