එකම අහස් වියනයක් යට එකම පොළෝ තළක ජීවත්වන යෞවනයන් එකම මිනිස් කොට්ඨාසයක් ලෙසින් ජාති ආගම් භේද ප්‍රතික්ෂේප කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
රට පුරා විසිර සිටින තාරුණයේ දස්කම් විස්කම්වලට නව ජීවයක් ලබා දීමටත් තරුණයන්ගේ සිතුම් පැතුම් බෙදා හදා ගැනීමටත් යොවුන්පුරය කදිම තෝතැන්නක් වූ බවද අගමැතිවරයා කීවේය.
අගමැතිවරයා එසේ එසේ සඳහන් කළේ සීගිරියේ දී පෙරේදා (2) සමාප්ත වූ යොවුන් පුරය 2016 ජාතික වැඩසටහනට එක්වෙමිනි. රටේ සියලු පළාත් නියෝජනය කරමින් තරණ තරුණියන් පන්දහසක් එකට රොඳ බැදසිටි මේ දැවැන්ත වැඩ සටහන සැනකෙළියක ස්වරූපයක් ඉසිළීය.තරුණ තරුණියන්ගේ ක්‍රීඩා, කලා, කුසලතා ඔප නැංවෙන අයුරින් එය සංවිධාන කර තිබුණි. සමාප්ති උළෙලට එක් වීමට පෙරාතුව ජනාධිපතිවරයා සහ අගමැතිවයා උත්සව භූමියේ තිබූ ප්රදර්ශවන කුටි වලට යමින් තරුණ තරුණියන් සමඟ සුහද කතා බහකට එක් වූහ. මහත් විචිත්‍රවත් අයුරින් අලංකාර ලෙස ඉදිකර තිබූ දැවැන්ත වේදිකාවේ ඩිජිටල් දර්ශන කාගේත් නෙත් සිත් මොහොතක ඇඳ බැඳ තැබීමට සමත් විය.
තරුණ තරුණියන්ගේ අනාගතය සැකසීම සඳහා යොවුන්පුරය දශක දෙකකට පසු නැවත ආරම්භ කර තිබෙන බවත් එහි පළමු වැන්න පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් ඇරඹි බවත් අගමැතිවරයා කීවේය.තිස් වසරක යුද්ධයකට පසු සමස්ථ ජාතියම හොඳ අනාගතයක් අපේක්ෂා කරන බව කී අගමැතිවරයා යුද්ධය නිසා ආසියාවේ රටවල් රැසක් සංවර්ධනය අපි පසු කර ගිය බවත් අපිට විශාල අභියෝගයක් ජයගැනීමට තිබෙන බවත් හෙතෙම කීය.
රටේ අනාගතය ඇති කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුවක් ඇති කළ බව ද ඊට ප්‍රධාන පක්ෂ දෙක එක් වූ බවද අගමැතිවරයා කීවේය. ඉදිරි පස් වසරකදී රජය ගන්නා ක්‍රියා මාර්ගවලින් ප්රතිලාභ ලබා ගන්නේ ජනාධිපති තමා හෝ අන් කිසිවෙකු නොව රටේ තරුණ පිරිස බවත් ජාති, ආගම් භේද පසෙකළා එක් මවකගේ දරුවන් ලෙස තරුණ පිරිස් ඒකරාශි විය යුතු බවත් හෙතෙම අනාවරණය කළේය.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එක් වී සිටින්නේ ශ්‍රී ලාංකිකයන් ලෙස රට භාර ගැනීම බවද කී අගමැතිවරයා රටේ තරුණ පිරිස් ජාතිවාදය ආගම්වාදය, ත්රස්වාදය ප්‍රතික්ෂේප කරන බවත් අවශ්‍ය සියලු දෙනා සහෝදරත්වයෙන් එක්සත් රටක, ශ්‍රී ලාංකික අනන්‍යතාව ඉදිරියට ගෙනයන බවත් අගමැතිවරයා කීවේය. රැකියා දශ ලක්ෂයක් බිහි කොට හොඳ රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග ලබා දෙන බව කී අගමැතිවරයා ඉදිරි දෙමසක දී රට ඉදිරියට ගෙන යන වැඩසටහන රට හමුවට ගෙන එන බවද ඉදිරි දශක දෙක තුළ ආර්ථික පෙරළියක් කර පොහොසත් රටක් ලෙස ගොඩනැඟීම ඒකායන අරමුණ බව ද හෙතෙම හෙළි කළේය. නිෂ්පාදන වැඩි කොට තොරතුරු තාක්ෂණය, සංචාරක කර්මාන්තය, මුල්‍ය ව්‍යාපාර ඇති කොට කඩා වැටුණු ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමට පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය. ක්රමානුකූල අධ්‍යාපන ක්‍රම, නිවාස ක්‍රම, පාසල් , වෘත්තිය, උසස් අධ්‍යාපනයක් ලබා දීමට ක්‍රියා කරන බව කී අගමැතිවරයා අලුත් ශ්‍රීලංකාව බිහි කර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන බවද අනාවරණය කළේය.
යොවුන් සම්මේලන, යොවුන් පාර්ලිමේන්තුව නඟා සිටුවීමට මිලියන200ක් ලබා දෙන බවද යොවුන් සේනාංක ප්රතිසංවිධාන කර තරුණ තරුණියන්ට රැකියා පුහුණුව දෙන බවද කීවේය. නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගගේ,යොවුන් පුර පුරපති රධික ජයලත් යන මහත්වරු මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.