නූතන මාධ්‍යවේදීයා හමුවේ අභියෝග රැසක් තිබෙන බවත් කුමන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කළාත් ප්‍රේක්ෂකයාට, පාඨකයාට, ශ්‍රාවකයාට නිවැරදි තොරතුරු ලබා දීමේ අභියෝගයෙන් මිදීමට මාධ්‍යවේදීයාට සාදාචාරාත්මක අයිතියක් නැති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ජනමාධ්‍ය නූතන තාක්ෂණයත් සමඟ බද්ධ වී තිබෙන අතර තාක්ෂණයෙන් තොර ජනමාධ්‍යයක් ගැන කතා කිරීමට අසීරු තත්ත්වයකට පත් වී තිබෙන බවත් සමාජයේ අනෙකුත් වෙනස්වීම් මෙන්ම මාධ්‍ය සංස්කෘතියේ වෙනස් වීම් අභියෝග රැසක් තිබෙන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

දෙරණ මාධ්‍ය ආයතනයේ දස වැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ (04)දැළි පිහියෙන් කිරි කෑම -02, නූතන මාධ්‍යාවේදියා හමුවේ පවත්නා අභියෝග යන මැයෙන් සංවිධානය කළ මාධ්‍ය කතිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ මාධ්‍ය ජනජීවිතයට ඉතා සමීප වී ඇති බවයි.

පාසල් දරුවන් වැඩි වශයෙන් බෝනොවන රෝගවලට ගොදුරුවීමේ සිද්ධිය ගත් විට එහිදී සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා වන ලෙසත් එසේම අනෙක් පැත්තෙන් රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් ක්ෂණික ආහාර වෙළෙඳ පොළ ප්‍රචාරය වැනි තත්ත්වයන් තුළ මාධ්‍යයට අභියෝගයක් නිර්මාණය වී තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ටෙලි නාට්‍ය, මාධ්‍ය භාෂාව, මාධ්‍යකරුවාගේ පුහුණුව, යනාදී වශයෙන් අභියෝග ද මාධ්‍ය හමුවේ තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජයේ මාධ්‍ය ආයතන රජයේ හොරනෑව විය යුතු නැති බව ද අවධාරණය කළේය.
විද්‍යුත් මාධ්‍ය භාෂා විලාසය විවේචනයට ලක් වී තිබෙන අතර සිංහල ව්‍යාකරණ දෝෂ බොහෝ විට දක්නට ලැබෙන බවත් සමහර මාධ්‍ය වාර්තා අනුව මාධ්‍යවේදීන් පුහුණුවක් නැති බව දක්නට ලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය