හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.

අලුත් සහල් මංගල්‍යයට එක්වූ ජනාධිපතිතුමා පළමුව ජය ශ්‍රි මහා බෝ සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව අලූත් සහල් මංගල්‍යයට එක් විය.
වස විස නැති දේශීය සහල් බදුන ජනාධිපතිතුමාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කිරීම මෙහිදී සිදු විය. වැදි නායක ඌරුවරිගේ වන්නිලෑත්තෝ විසින් සාම්ප්‍රදායානුකූලව ජය ශ්‍රි මහා බෝධින් වහන්සේට මී පැණි පූජා කිරීමද මෙහිදී සිදු වූ අතර සියලූ පළාත් ආවරණ වන පරිදි ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ දේශිය සහල් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කිරීමද සිදු කෙරිණි. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අලූත් සහල මංගල්‍ය පිළිබද සමරු කළඹ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ ද, රුවන්වැලි සෑය විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ද, පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රාණි බණ්ඩාර, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්ම මහත්මින් ඇතුථ දේශපාලන නියෝජිතයින් පිරිසක්ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු රජයේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.