රජයේ සියලුම ආයතනවල පවත්වන රැස්වීම් සහ වැඩමුළුවල දී පෝෂ්‍යදායී ආහාර වේලක් හෝ පළතුරු සහ පළතුරු යුෂ ලබාදීම ජාතික ප‍්‍රතිපත්තියක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගෙන් සියයට 68 ක් බෝනොවන රෝගවලට ගොදුරුවීම වැළැක්වීම මෙහි අරමුණයි. මෙම වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වීම් සහ වැඩමුළුවලදී ක‍්‍රියාත්මක කිරීම පසුගියදා ආරම්භ කෙරිණි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග පසුගියදා පැවැති සාකචිඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

බෝනොවන රෝග පාලනය කිරීම සදහා පාසල් මට්ටමින් දියත් කළ යුතු වැඩසටහන් පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. අපි නිරෝගී වෙමු යන තේමාව යටතේ කෘතියක් සකස් කර එම කෘති සියලුම පාසල් දරුවන් වෙත බෙදා හැරීමට මෙහිදී තීරණය විය.
ඊට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ද ලබාගැනීමට නියමිතයි. පාසල් සිසුන් අතර පෝෂ්‍යදායි ආහාර, පළතුරු, ප‍්‍රචලිත කිරීමේ ලිපි මෙම කෘතියට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.
පාසල්වල ගුරුවරුන්ට ද බෝනොවන රෝග පිළිබඳ විශේෂ පුහුණූවක් ලබාදීමට නියමිතය. දේශීය සහල්වර්ග ප‍්‍රචලිත කිරීෙමි වැඩපිළිවෙළක් දියත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
තව ද ත‍්‍රීවිධ හමුදාව, සියලුම රාජ්‍ය ආයතන, ත‍්‍රී රෝද රථ සියදුරු සංගමය, පාසල් වෑන් රථ රියදුරු සංගමය, ලොරි රථ සංගමය ද බෝනොවන රෝග පිළිබද දැනුවත් කිරීම, වෛද්‍ය සායන පැවැත්වීම, කඩිනමින් සිදු කිරීමට මෙහිදී තිරණය විය.
දේ අතර ආහාර සහ ජලයේ වටිනාකම පිළිබඳ කෞතුකාරගයක් නිර්මාණය කිරීමේ යෝජනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා යෝජනා කළ අතර, ඊට පුර්ණ සහයෝගය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝනොවන රෝග) වෛද්‍ය චම්පිකා වික‍්‍රමසිංහ මහත්මිය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා, ලේකම් වෛද්‍ය නලීන් ද හේරත් මහතා, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.