නව ප්රජාතන්ත්රීය නිදහසේ ප්රවේශය ඔස්සේ නව ආර්ථික හා දේශපාලන අවකාශයකට පියවර තබමින් වැඩ කරන සමස්ත ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කරමින් ලද ජයග්රණය යථාර්ථවත් කර ගන්නට කැපවීම අපේ මැයි දින අධිෂ්ඨානය බවට පත් කර ගනිමු යයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මැයි දිනය (01) වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ලොව මැයි දිනය සැමරීම තුළින් සිය අසහාය ගරුත්වය පිරිනමන්නේ දහදිය කඳුළට බවත් එදිනට පෙළගැසෙන හැම ධජයක්ම ඉහළට එසැවෙන්නේ ජීවරුධිරයෙන් ප්රාණය ලැබූ ආශ්චර්යයවත් දහදිය කඳුළට ප්රණාමය පළ කරනු පිණිසයයි ද සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරන ජනපති සමස්ත කම්කරු ජනතාවට ජයග්රාහී මෙන්ම තම අයිතීන් සුරක්ෂිත වන උණුසුම් මැයි දිනයක් ප්රාර්ථනා කර සිටී.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා මැයි දිනය (01) වෙනුවෙන් නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය මෙසේය
සමස්ත ලෝකවාසී වැඩකරන ජනතාව අද සිය සුරතට ගනු ලබන රත් පැහැ ධජය කම්කරු සමගියේ ද කම්කරු විජයග්රහණයේ ද දිගු ඉතිහාසය පිළිබඳ සංකේතයක් වැන්න. ලෝ වැසි කම්කරු ජනතාව ලෙයින්, කඳුළින්, දහදියෙන් දිනූ අසහාය විජයග්රහණය පිළිබඳ ඒ අභිමානය මැයි පළ වැනිදා අනුස්මරණය කෙරේ. කම්හලේ, වැඩබිමේ, ගොවිපළේ හෝ අන් කවර තැනක හෝ දහදිය,ශ්රමය වගුරුවන පීඩිතයින්ගේ සුසුම, තැවුළ මැයි දිනයේ අනුප්රාණය ලෙසින් සැලකේ.
නිෂ්පාදනය නම් දැවැන්ත යාන්ත්රණය ක්රියාත්මක වන්නේ කම්කරු ශ්රමය නම්, කුඩා දැති රෝදයන්ගේ සාමූහික ක්රියාකාරිත්වය තුළිනි. ලෝකය ඉදිරියට තබන සෑම පියවරක් පාසාම කවර හෝ ශ්රමිකයෙකුගේ වෙහෙස මහන්සිය විසින් වැගිරූ දහදිය කඳුළක තෙතමනය සලකුණුව තිබේ.
ලෝකය මැයි දිනය සැමරීම තුළින් සිය අසහාය ගරුත්වය පිරිනමන්නේ එකී දහදිය කඳුළටය. මැයි දිනයේ පෙළගැසෙන හැම ධජයක්ම ඉහළට එසැවෙන්නේ ජීවරුධිරයෙන් ප්රාණය ලැබූ ආශ්චර්යයවත් දහදිය කඳුළට ප්රණාමය පළ කරනු පිණිසය.
අප 1956 දී දිනාගත් ජනතා ජයග්රහණයෙන් පසු අපේ, ශ්රමික ප්රජාව හිමිකරගත් වරප්රසාද සහ වෘත්තීය අයිතීන් සමග වඩාත් ප්රවේගකාරී, ඵලදායී ගමන් මගකට වර්තමානය වන විට අවතීර්ණව සිටිමු.
2015 ජනවාරි 8 අප ලද නව ප්රජාතන්ත්රීය නිදහසේ ප්රවේශය ඔස්සේ නව ආර්ථික හා දේශපාලන අවකාශයකට පියවර තබමින් සිටින වර්තමානයේ මේ එළැඹි මැයි දිනයේ වැඩ කරන සමස්ත ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කරමින් ලද ජයග්රහණය යථාර්ථවත් කර ගන්නට කැපවීම අපේ මැයි දින අධිෂ්ඨානය බවට පත් කර ගනිමු.
සමස්ත කම්කරු ජනතාවට ජයග්රාහී මෙන්ම තම අයිතීන් සුරක්ෂිත වන උණුසුම් මැයි දිනයක් වේවා.