ලේක්හවුස් ආයතනය , ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, අයිටීඑන් මාධ්‍ය ජාලය හා ඩයලොග් ආයතනය එක්ව ආරම්භ කළ 'සෙනෙහසේ සියපත' ගිණුම මඟින් එකතූ වූ මුදලින් ගංවතුරින් ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් වතුර මෝටර් උපකරණ ලබාදීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (23) සිදු කෙරිණි.

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ උපදෙස් පරිදි ලේක්හවුස්, ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව හා ඩයලොග් ආයතනය එක්ව ආරම්භ කළ 'සෙනෙහසේ සියපත' ගිණුමට දින දෙකක් තුළ රුපියල් ලක්ෂ 350ක ආධාර ලැබී තිබූ අතර, එම මුදල් භාවිත කරමින් ආපදාවන්ට ලක් වූ ජනතාවගේ නිවාස හා ළිං පිරිසිදු කිරීමට මෙම ජල මෝටර් යන්ත්‍ර ප්‍රදානය සිදු කෙරිණි.

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අතින් ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත මෙම උපකරණ කට්ටල භාරදීමෙන් අනතුරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පෙනරල් පී ඒ විමලරත්න මහතාට භාරදෙන ලදී.

ආපදා තත්ත්වය ඇති වූ වහාම ජනාධිපතිතුමා හා අගමැතිතුමා මැදිහත්ව මේ ආපදාවන්ට ලක්වූවන්ට සහන ලබාදීමට පියවර ගත් බවත් ගංවතුර බැස ගියත් පීඩාවට පත් ජනතාවට නැවත පදිංචි කිරීමට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

පීඩාවත් පත් අය නැවත පදිංචි කිරීම සඳහා ඔවුන්ගේ නිවාස සෝදා පිරිසිදු කිරීමටත් ළිං පිරිසිදු කිරීමටත් මෙම මෝටර් මඟන් හැකියාව තිබෙන බවත් ලේක්හවුස් ආයතනය, ගුවන් විදුලිය හා රූපවාහිනී සංස්ථාව හා ඩයලොග් ආයතනය මඟින් මේ සිදු කළ සද්කාර්ය ඉතාම වැදගත් බවත් සෙනෙහසේ සියපත ගිණුමට දින දෙකක් ඇතුළත ලැබුණු මුදල පීඩාවට පත් සියලු දෙනාටම සහන සැලසීමට කටයුතු කරන බවත් කරුණාතිලක මහතා කීය. ස්වයං රැකියා නියතුවූවන්ට සහන ලබා දී නැවත ඔවුන්ට නිසි පරිදි රැකියාව කරගෙන යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට මෙම ගිණුමෙන් ලැබෙන අධාරවලින් හැකියාව තිබෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

මෙහි දී අදහස් දැක්වූ ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා

මෙම 'සෙනෙහසේ සියපත' මඟන් දින දෙකක් ඇතුළත විශාල මුදලක් එකතු වී තිබෙනවා. ඒ සියලු මුදලින් දහස් සංඛ්‍යාත පීඩාවට පත් ජනතාවට සහන ලැබෙනවා. පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට එකතූ වූ සියලු දෙනාටම ස්තුති වන්න වෙනවා. ඒ එක්කම ලේක්හවුස් ආයතන, ගුවන් විදුලිය, රූපවාහිනි සංස්ථාව හා ඩයලොග් ආයතනය ඇතුළු සියල්ල ඒකබද්ධ වී ආපදාවන්ට ලක්වූවන්ට සහන ලබාදීමට මැදහත් වීම පිළිබඳ මාගේ ස්තුතිය පිරිනමනවා.