ජපානයේ පැවැත්වෙන ජී-7 සමුළුවට සහභාගී වීමට දකුණු ජපානයේ නගෝයා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඊයේ (26) උදෑසන ළඟා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට රාජ්‍ය නායකයන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

ජපාන සම්ප්‍රදායන්ට අනුව පැවැති ශ්‍රි ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමේ උළෙලට ජපාන විදේශ ඇමැති යෝජි මුතෝ (Yoji Muto), දිස්ත්‍රික්ක ආණ්ඩුකාර හිදේකි ඔමුරා (Hideaki Oomura) සහ එරට නියෝජිතයෝ එක්වී සිටියහ.

ඊට අමතරව ජනාධිපතිවරයා නවාතැන් ගන්නා නගෝයා හිල්ටන්හි දී ද ජපාන සාම්ප්‍රදායක පිළිගැනීමේ උළෙලක් සංවිධාන කර තිබු අතර එය මහත් අභිමානවත් අයුරින් පැවැතුණි.

ඊයේ සන්ධ්‍යාවේ වියට්නාම අග්‍රාමාත්‍ය Ngyuyn Xuan Phuc මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කළ ජනාධිපතිවරයා ජී-7 සමුළුවේදී සාකච්ඡා කෙරෙන තිරසර සාමය, තිරසාරත්වය හා සෞභාග්‍යය ආදී මාතෘකා පිළිබඳ අදහස් හුවමාරු කර ගත්හ‍.

ජපානයේ විදෙස් වෙළඳ සංවිධානයේ ප්‍රධානී හුරෝයුකි ඉෂිගේ (Hiriyuki Ishige) සහ Onomici Dockyeard ආයතනයේ සභාපති ටකාසි නකාබේ මහත්වරු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව පැවතුණි.

ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ හිමිවෙන ජපන් ශ්‍රීලංකා ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබුණි.