“වසර 30 ක පැවති යුද්ධයෙන් පසු ශ්‍රි ලංකාව යලි කඩිනමින් යථා තත්වයට පත් වෙමින් තිබෙනවා. එවැනි අවස්ථාවක ජන කොටස් අතර සාමය හා සංහිඳියාව ඇති කර එක් රටක් ලෙස ඉදිරියට යාම අපට ඇති විශාලම අභියෝගයයි. ඒ සදහා මාධ්‍යට විශාල කාර්ය භාරයක් පැවරෙනවා.” යැයි පැවසුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ආසියානු ශාන්තිකර විකාශන සංගමයේ 58 වන ක්‍රිඩා සැසිය අමතමිනි.

ආසියානු ශාන්තිකර විකාශන සංගමයේ 58 වන ක්‍රිඩා සැසිය කොළඹ සිනමන් ලේක් හෝටලයේදී පසුගිය 28,29 සහ 30 තෙදින පුරා පැවැත්වීය. 1964 වසරේ ආරම්භ වුණු ආසියානු ශාන්තිකර විකාශන සංගමය මේ වන විට රටවල් 69 ක සහභාගීත්වයෙන් සාමාජිකයන් 280 දෙනෙකුගෙන් සමන්විතව නිර්මාණය වූ ලොව විශාලම මහජන විකාශන ආයතනය වේ. අන්තර් ජාතික විකාශන ආයතන හා සම්බන්ඳතා පවත්වා ගනිමින් ආසියා පැසිෆික් කලාපයේ බිලියන 04 කට අධික ජනතාවකට නව තාක්ෂණික ක්‍රමවේද එමගින් හදුන්වා දී තිබේ. ප්‍රවෘත්ති හා ක්‍රිඩා පුවත් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම මෙම ආයතනයේ පූර්ණ වගකීම වේ.

මෙම සැසිය අමතමින් තව දුරටත් අදහස් දැක්වූ ඇමති ගයන්ත මෙසේ කීය.“ තරගකාරී මාධ්‍ය හමුවේ වෙළඳපල අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ක්‍රියා කිරීම හේතුවෙන් අත්තර් ජාතික තරග ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. එවැනි අභියෝග වලින් අත් මිදීම සඳහා කඩිනම් විසදුම් සෙවීම කළ යුතු වෙනවා.”

මෙම අවස්ථාව සදහා ආසියානු පැසිෆික් විකාශන සංගමය වෙනුවෙන් එහි මහ ලේකම් ආචාර්ය ජාවේඩ් මොටාජි මහතා
​(Dr.Javad Mottaghe)​ එක්ව සිටි අතර ඒ මහතා සැසිය අමතමින් කියා සිටියේ මෙම කලාපීය මාධ්‍ය සංවර්ධනයට ඉදිරියේදී සහය දක්වන බවය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත, අසියා පැසිෆික් විකාශන සංගමයේ ක්‍රිඩා අංශ ප්‍රධානී ජියැංග් හිපිං ​(Jiang Heping)​, රූපවාහිනි සංස්ථාවේ ක්‍රිඩා අංශයේ ප්‍රධානී පාලිත සෙනරත් යාපා යන මහත්වරු එක්ව සිටි අතර ස්වාධින රූපවාහීනී, සිරස මාධ්‍ය ජාලය, කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව, නවසීලන්තය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක නියෝජිතයන් එක් වූහ. ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව මගින් මෙම සැසිය සංවිධානය කර තිබිණි.