මාධ්‍ය නිදහස නැති තැන ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ නොවන බවත් හොඳ රටක් හොඳ මාධ්‍යයක් සෑදීමට වගකීමෙන්, උපරීම ශක්තියෙන් කටයුතු කරන බවත් නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේදී නව ධූරයේ වැඩ භාර ගනිමින් අද (06) ඒ මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඒ මහතා‍ ‍‍ඩෙන්මාර්කය මුලස්ථානය කරගත් ආසියා පැසිෆික් ජාත්‍යන්තර මාධ්‍ය පුහුණු ආයතනයේ කලාපීය උපදේශකයා වූවේද ඔහුය. කලන්සූරිය මහතා මලයාසියාව, පකිස්තානය ඇතුළු ආසියා පැසිෆික් රටවල මාධ්‍යවේදීන් පුහුණු කරන උපදේශකවරයෙකි.

ඒ මහතා ප්‍රකාශ කළේ මෙම වකවානුවේ සිදු වන ප්‍රජාතන්ත්‍රවාදී වෙනස සම්පූර්ණවීමට නව මාධ්‍ය ප්‍රතිසංස්කරණක් අවශ්‍ය බවයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.