ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මාධ්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් චීනයේ ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ ගිවිසුමකට අත්සන් තබයි.

ප්‍රවෘත්ති, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාදීම වෙනුවෙන් මේ ගිවිසුමට අත්සන් කිරීම ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම් ශ්‍රවණාගාරයේ දී ඊයේ (06) සිදුකෙරුණු අතර ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සියේ කොළඹ කාර්යාංශ ප්‍රධානී හුයාන්ග් හයිමින් සහ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරු ඊට අත්සන් කළහ.

මේ අවස්ථාවට සහභාගි වූ ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සියේ උප සභාපති ලොන්ග් ෂිනෑන් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සහ චීනය අතර ඉතා දි.ගුකලක සිට සමීප සබඳතා පවත්වන බවත් මෙරට පුවත්පත් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයකට හිමිකම් කියන ලේක්හවුස් ආයතනය මුළුමහත් ශ්‍රී ලංකාවටම බලය පතුරුවන පුවත්පත් රැසක් ප්‍රකාශයට පත්කරන බවත්ය.

මෙරට දේශපාලනය, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, සම්ප්‍රදාය පමණක් නොව විදේශීය සංවර්ධන ප්‍රවණතාවන් ද ආවරණය කරමින් දකුණු ආසියානු කලාපයේ කීර්තියට පත්  ලේක්හවුස් ආයතනය ජනතාවට සේවය කරන බව සදහන් කළ ඒ මහතා ඒ හේතුවෙන් මෙවැනි ගෞරවනීය ආයතනයක් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවද සන්නිවේදන ක්ෂේත්‍රයේ දී දෙරටේම අභිවෘද්ධිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවද පැවසීය.