ගංවතුරින් විපතට පත් සහෝදර ජනතාවගේ ජන ජීවිතය යථා තත්වයට පත්කිරීමේ අරමුණ පෙරදැරිව ඇරඹි 'සෙනෙහෙ සියපත' අරමුදල මගින් ගංවතුරෙන් විපතට පත් පාසල් දරු දරියන්ට 

අවශ්‍ය පාවහන් බෙදා දීමේ සහ ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු අනුර පි‍්‍රයදර්ශන යාපා මැතිතුමා සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2016.06.08 දින පෙ.ව. 8.30 ට බප/ජය/ සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

විපතට පත් පාසල් යන දරු දැරියන්ට ශක්තියක් වීමේ අපේක්ෂාවෙන් කි‍්‍රයාත්මක මෙම වැඩසටහන මගින් පාසල් පාවහන් සහ මේස් මිළදී ගැනීම සඳහා අවශ්‍ය වවුචර් පත් ලබා දේ. එම වවුචර් පත් ඕනෑම ඩිඑස්අයි ශාඛාවකට ඉදිරිපත් කිරීමෙන් පාවහන් ලබා ගත හැක.

පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ඩයලොග් ආයතනය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය , සී/ස එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම සහ රජයේ ප‍්‍රධාන සහන සේවා ආයතනය වන ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ එකමුතුවෙන් ශක්තිමත් වූ ”සෙනෙහෙ සියපත” අරමුදලින් ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සේවා රැසක් මේ වනවිට ක්‍රියාවට නංවා තිබේ.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය ගරු රංජිත් සෝමවංශ මැතිතුමා සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාද සහභාගී
වනු ඇත.