දරුවන් සම්බන්ධ කටයුතුවලදී ජනමාධ්‍ය ඉතා වගකීමකින් කටයුතු කළ යුතු බවත් දරුවන් සම්බන්ධ පුවත් ප්‍රචාරණයේ දී ඇතැම් ජනමාධ්‍ය තම පැවැත්ම පිළිබඳ පමණක් සිතමින් කටයුතු කරනු විනා දරුවන්ගේ අනාගතය පිළිබඳ අවධානය යොමු නොකරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහෙයින් ජනමාධ්‍ය දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් වගකීමෙන් යුතුව කටයුතු කළයුතු බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

දරුවන්ගේ කැකුළු සිනා හඬ තරම් ප්‍රබල හඬක් මිහිපිට නොමැති බවත් විශ්වයේ සොඳුරුතම නිර්මාණය දරුවන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

නව තාක්ෂණය වෙත ලෝකයේ දොරගුළු විවර වෙද්දී ධාරක ප්‍රේමය, සුරක්ෂිතතාව එම දොරටුවලින් පිටතට ඇදි යන බවත් ජනාධිපතිවරයා පැවසිය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ පොළොන්නරුව රාජකීය ජාතික පාසලේ සී.පී. ද සිල්වා සමරු රඟහලේදී ඊයේ (13) පැවැති ජාතික ළමා සභා නිලවරණය හා නායකත්ව පුහුණු වැඩසටහනේ සමාප්ති උළෙලට එක් වෙමිනි.