ස්වාධීන රූපවාහිනි සේවයේ වැඩබලන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි මහතා සිය ධුරයේ වැඩ භාර ගත්තේය.හේමසිරි ප්‍රනාන්දු මහතා සභාපති පදවියෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවුණ පුරප්පාඩුවට ආතාවුදහෙට්ටි මහතා පත්කරනු ලැබුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සහ මුදල් ඇමැති රවි කරුණානායක මහත්වරුන්ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිරේක ලේකම්වරයකු ලෙස සහ රැඟුම්පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමන් ආතාවුදහෙට්ටි මහතා තීරු ලිපි රචනයෙහි ප්‍රවීණයෙකි. විවිධ විෂයන් යටතේ ග්‍රන්ථ රැසක් ලියා පළ කර ඇත. ප්‍රවීණ නිවේදකයකු මෙන්ම රූපවාහිනි හඬකැවීම් ශිල්පියකුද වෙයි.