ජනතාවගේ ගැටලු හා අවශ්‍යතාවයන් ජනතාව වෙතම ගොස් විසඳාලීමේ අරමුණින් රාජ්‍ය අංශයේ සේවා සපයන සියලු ආයතන එක්ව දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවාවක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

 "නිල මෙහෙවර ජංගම සේවය 2016" යනුවෙන් නම් කර ඇති මෙහි ප්‍රථම ජංගම සේවාව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ජුලි මස 01 වන දා සිට 23 වන දා දක්වා සති අන්තය ඇතුළුව සතියේ තෝරා ගත් දිනයන්හි ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස මට්ටමින් පැවැත්වේ.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට අදාළ ඉඩම් ගැටලු රැසක් තිබෙන බවට වාර්තා වී ඇති බැවින් මෙම ජංගම සේවා මගින් ඉඩම් අමාත්‍යංශය යටතේ ඇති ආයතන හා ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය හරහා ජනතාවට තම ඉඩම් ගැටලු නිරවුල් කර ගැනීමට මහඟු අවස්ථාවක් උදා වනු ඇත.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන සේවාවන් එක් දිනකින් මෙහිදී ලබා ගත හැකිය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන අලි මිනිස් ගැටුම් ආදී විවිධ උපද්‍රවයන් සඳහා තිරසාර සංවර්ධන හා වන ජීවි අමාත්‍යාංශය හා එයට අනුබද්ධ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හමුවී විසඳුම ලබා ගැනීමට මෙම ජංගම සේවය තුළීන් හැකිවේ.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන හා පුහුණු වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ආදි ආයතනයන්හි නිලධාරින් සහභාගි වීමට නියමිතය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දියත් කෙරෙන මෙම වැඩසටහන ජුලි 01 හා  02 යන දෙදින  මැදිරිගිරි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට නියමිතය.  මීට අමතරව ජූලි 07 වන දින ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදීත් , ජුලි 08 හා 09 යන දෙදින හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. වැලිකන්ද ජනතාට මෙම සේවාවන් ලබා ගත හැක්කේ ජුලි 12 වන දින වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන ජංගම සේවාව තුළිනි.  තවද  දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ජුලි 16 වන දින අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ මෙම ජංගම සේවාව පැවැත්වෙන අතර ජුලි 17 වන දින ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිශ්‍රයෙත් ජුලි 22 හා 23 යන දෙදින තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යලයෙත් පැවැත්වීමට නියමිතය.

පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන මෙම  ජංගම සේවයේ සමාප්ති උත්සවය ජුලි 30 දා ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරු රාජකීය විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.