මෙරට විද්‍යුත් සන්නිවේදන ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉහළම පැහැදිලිතාව සහිත රූපවාහිනී මැදිරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතින් ඊයේ විවෘත විය. ස්වාධීන රූපවාහිනිය තුළ ස්ථාපිත මෙම ෆුල් එච් ඩී මැදිරිය එම ආයතනයේ ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය මත ඉදිකර තිබීමද විශේෂත්වයකි. වර්ග අඩි 2600ක විශාලත්වයකින් යුත් ෆුල් එච් ඩී හෙවත් පූර්ණ අධි විස්තෘත මැදිරිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ආලෝකකරණ පද්ධතියකින් සමන්විතයි.
මෙම ස්වංක්‍රීය ආලෝකකරණ පද්ධතිය සදහා රුපියල් මිලියන 100කට ආසන්න මුදලක් වැය වී තිබේ. මැදිරිය අධි සුපැහැදිලි රූපවාහිනී ඩිජිටල් කැමරා 4කින් සමන්විත වන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 50කි. අති නවීන ඩිජිටල් පාලක උපකරණ , පරිගණක ආශ්රිත පටිගත කිරීම් හා නවීනතම යන්ත්‍ර විශාල සංඛ්‍යාවකින් පාලන මැදිරිය ද සමන්විත වී තිබේ. පාලන මැදිරිය සදහා පමණක් වැයකල මුදල රුපියල් මිලියන 200 කි. පළමු අදියර යටතේ අග්‍රාමාත්‍යවරයා අතින් ඊයේ විවෘත වූ මෙම මැදිරියට අමතරව දෙවන අදියර යටතේ නව පාලක මැදිරි දෙකක් , පරිගණක ආශ්රිත මාධ්‍ය රූප නිර්මාණ අංශයක් , පරිගණක ආශ්රිත සංස්කරණ අංශයක් , නවීන පහසුකම්වලින් සමන්විත පුස්තකාලයක් හා නව ශ්‍රවණාගාරයක ද ඉදිකිරීම් සිදු වේ. මෙම සමස්ථ ඉදිකිරීම් සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 600කි.
නව මැදිරිය විවෘත වීමත් සමග ප්‍රේක්ෂකයින්ට වඩා උසස් තාක්ෂණයෙන් යුත් නිර්මාණ දායාද කිරීමේ අවස්ථාව උදා වේ. එහි පළමු සම්මුඛ සාකච්ඡාව අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්විය. අනතුරුව ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් සංගීතමය වැඩසටහනක්ද නව මැදිරියේ සිට විකාශය විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු මෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා ඇතුළු නිලධාරීහූ රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.