රජයේ සංවර්ධන ක්‍රියාවලිය සහ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම පිළිබඳව ජනතාවගේ දැනුම්වත්භාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ස්ථාපිතකල ‘ලංකා පුවත් ’ වෙබ් අඩවිය නව මුහුණුවරකින් යුතුව නැවත එළිදැක්වීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පසුගියදා සිදු විය.

1978 වසරේ යුනිස්කෝ සංවිධානයේ අදහසකට අනුව ස්ථාපිත කල ‘ලංකා පුවත් ’ වෙබ් අඩවියෙහි පුරෝගාමියා මෙන්ම ආරම්භක සභාපතිවරයා වුයේද වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පියාණන් වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාය. ‘ලංකා පුවත්’ වෙබ් අඩවියෙහි මූලික පරමාර්ථය වන්නේ දේශීය පුවත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වෙත ලබාදීම මෙන්ම විදේශීය පුවත් දේශීය මාධ්‍ය වෙත ලබාදීමය. ලංකා පුවත්හී නව ආරම්භයත් සමග තම පුවත් අන්තර්ජාලය සහ රූපවාහිනිය ඔස්සේ මෙන්ම කෙටි පණිවුඩ හරහා ජංගම දුරකථනය මගින් ජනතාව අතරට පුවත් ලඟිකරලීම අපේක්ෂාවවී තිබේ. එහිදී නිවැරදි හා සමබර පුවත් වලින් ජනතාව පෝෂණය කල යුතු අයුරු ‘ලංකා පුවත් ’ වෙබ් අඩවියෙහි පාලන අධිකාරිය අවධානයට නතුව ඇත. අන්තර්ජාලයට කඩිනමින් පුවත් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස ද මෙම වෙබ් අඩවිය යලි පණගැන්වීමේ ප්‍රවේශය වී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති නන්ද මුරුත්තෙට්ටුවෙගම මහතා විසින් ලංකා පුවත් ආයතනයේ සභාපතීත්වය දරන අතර එහි ප්‍රධාන විධායක නිලධාරිණිය ලෙස දුල්මා කන්දරාමගේ මහත්මිය කටයුතු කරනු ලබයි.