“අන් සියලු කාරණා වලදී වගේම ඡායාරූපකරණයේදීත් මානව ගුණධර්ම අමතක කරල ක්‍රියාකරන්න පුලුවන්කමක් නැහැ. කැමරාව කියන්නේ අද අපි භාවිතා කරන උපකරණ අතර බොහෝම වැදගත් එකක්. අද භාවිතා කරන ජංගම දුරකතන වලත් කැමරා තිබෙනවා.

ඒ නිසා අනිත් උපකරණ වලට වඩා කැමරාව බොහෝම සමීප උපකරණයක් වෙලා අපට. කැමරාවක් භාවිතා කරල ඡායාරූපයක් ගන්න හැම කෙනෙක්ම ඡායාරූප ශිල්පියෙක් වන්නේ නැහැ. ඒ අය කැමරාකරු පමණයි. නමුත් ඒක විෂයක් හැටියට හදාරල නිර්මාණ ශිල්පී ඇසක් ඒ වෙනුවෙන් ඇතිකරගෙන තවත් පොදු ගුණාංග රාශියක් ප්‍රගුණ කරපු කෙනෙක් ඡායාරූප ශිල්පියෙක් හැටියට හඳුන්වනවා. ඒ වගේම වෘත්තියක් හැටියට ඡායාරූප ගන්නා අයත් ඒ ගණයට වැටෙනවා. නමුත් ඡායාරූපකරණයේදීත් අනෙක් සියලු ‍ක්ෂේත්‍රයන්ට වගේම මානව ගුණධර්ම අමතක කරල ඡායාරූපකරණයේ යෙදෙන්න ශිල්පියාට හැකියාවක් නැහැ.” යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වු ​​කොළඹ ආනන්ද විද්‍යාලයේ කලා හා ඡායාරූප සංගමයේ 70 වැනි සංවත්සරය හා ඊට සමගාමීව පැවැත්වූ "පිළිබිඹු 2016" ඡායාරූප ප්‍රදර්ශනයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සම්මාන හා ත්‍යාග ප්‍රදානයට එක්වෙමිනි.
​​
කොළඹ ආනන්ද විද්‍යාලයීය කලා හා ඡායාරූප සංගමය වාර්ෂිකව අන්තර් පළාත් පාඨශාලයීය ඡායාරූප තරඟ හා ප්‍රදර්ශණය සංවිධානය කරන අතර මෙවරද ඔවුන් පාසල් රැසක ඡායාරූපකරණයට ඇල්මක් දක්වන, එය විෂයක් ලෙස හදාරන සිසු දරුවන් අතර ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන ලදි. එය ​​‘පිළිබිඹු 2016’ ලෙස කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී පැවැත්වූ අතර ඉන් ජයග්‍රහණය කල සිසු සිසුවියන් වෙත මෙහිදී සම්මාන හා සහතික ප්‍රදානය සිදු කෙරිණි.

එහිදී පැමිණි සිසුන් වෙත ඡායාරූපකරණය පිළිබඳ සිය අදහස් දක්වමින් ඇමති ගයන්ත මෙසේද කීය.

“ඡායාරූපයක් කියන්නේ ආලෝකයෙන් ඇඳීමකට කියලයි මම කල්පනා කරන්නේ.තමන් ඉදිරියේ තියෙන යමක් රසායනිකව හෝ ඉලෙක්ට්‍රොනිකව සටහන් කර ගැනීම ඡායාරූප ගැනීමක් කියලා අපි දකිනවා. චිත්‍රය ඡායාරූපය දක්වා විකාශනය වීමට වසර ගණනාවක් ගත වෙනවා.ඒ විකාශනයේදී විද්‍යඥයින් රැසක් අත්හදා බැලීම් කරලා තිබෙනවා. මේ ඉතිහාසය ග්‍රීක දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් දක්වාම දිවයන එකක් කියලයි මම දැනගෙන තිබෙන්නේ. මේ සඳහා උනන්දු වූ ජාතින් රැසක් ඒ අතර වෙනවා. මිනිස් රූපයක් ඡායාරූපයකට හසු කර ගත්තේ දැනට අවුරුදු 177 කට පෙර. ඒ වර්ෂ 1839 දී ප්‍රංශ ජාතිකයකු විසින්. ඒ වගේම වර්ණ ඡායාරූප, නිර්මාණාත්මක ඡායාරූප , කලාත්මක ඡායාරූප වශයෙන් ඡායාරූප කොටස් 03 කට හදුන්වා ගන්න පුළුවන්. ඇත්තටම ඡායාරූප ගැනීමක් කියන්නේ තෙවැනි ඇසකින් බැලීමක හැටියටයි අපි දකින්නේ. ඡායාරූපයක් උපත ලබන්නේ කැමරා උපකරණය නිසාත් එය පිටුපස සිටින පුදගලයාගේ නිර්මාණ ශීලි භාවය නිසාත් යන කරුණු 02 එකතු වීමෙන්. ඡායාරූප ශිල්පය එක් අතකින් කලාවක්, තවත් අතකින් එය ශිල්පයක්, තවත් අතකින් එය වෘත්තියක්.”

මෙහිදී ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා විසින් ඇමති ගයන්ත වෙත සමරු ඵලකයක්ද ​ප්‍රදානය කිරීමද සිදු විය.