ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන ද්වීපාර්ශ්වික සහයෝඟීතාව තවදුරටත් ඉහළ නංවමින් දෙදින නිල සංචාරයක් සඳහා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය අද (12) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ඒ මහත්මිය සමඟ දකුණු ආසියාව භාර නියෝජ්‍ය සහකාර ලේකම් මන්ප්‍රිට් සිං මහතා ද මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණීමට පෙර බංග්ලාදේශයේ සංචාරයක නිරත වන අතර එයින් අනතුරුව මෙරටට පැමිණීමට නියමිතයි. අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ඇතුළු පිරිස මෙරට සංචාරය තුළදී විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඇතුළුව රජයේ ඉහළ පෙළේ නියෝජිතයන්, දේශපාලන නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ඊට අමතරව දෙරට අතර ආර්ථික සහයෝගිතාව, ප්‍රජාතන්තවාදී පාලනය සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අමෙරිකානු තානාපති කාර්යාලය සදහන් කරයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය මෙරටට පැමිණ තිබෙන අතර රජයේ නියෝජිතයන්, සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු පිරිස් සමඟ සාකච්ඡා පවත්වා තිබේ. ඊට අමතරව ඒ මහත්මිය උතුරු හා නැගෙනහිර ඇතුළුව ප්‍රදේශ රැසක සංචාරය කර ඇත.