වගවීම සහ සංහිඳියා ක්‍රියාදාමයේ දී සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බව අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. ශ්‍රී ලංකාව ලෝකයට ආදර්ශයක් ලබාදී තිබෙන අතර එම ක්‍රියාදාමයේ දී සහාය දැක්වීමට තම රටට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය ප්‍රකාශ කරයි.

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නීෂා බිස්වාල් මහත්මිය මේ බව සදහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (12) විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය පෙන්වා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ කාර්යයේ දී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඉතා ළඟින්ම කටයුතු කරන බවත් එම සබඳතා අගය කරන බවත්ය. ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින සබඳතා ඉහළම මට්ටමකට පැමිණ තිබෙන බව සිහිපත් කළ ඒ මහත්මිය ශ්‍රී ලංකාවේ සාමය හා සංවර්ධනය වෙනුවෙන් ඉදිරියටත් සහාය ලබාදීමට සූදානම් බවද සදහන් කළාය.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි මහතා සදහන් කළේ ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් සමඟ සබඳතා ගොඩනඟා ගනිමින් පවත්වාගෙන යන රාජ්‍යතාන්ත්‍රික සබඳතා මේ වනවිට ඉහළ මට්ටමකට පැමිණ තිබෙන බවත් එය අගය කරන බවත්ය. ජාතික සංහිඳියාව මෙන්ම ප්‍රතිසංධාන කටයුතුවල දී ශ්‍රී ලංකාව මෑත කාලයේ දී හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී සම්මත කරගත් යෝජනාවේ සදහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ දී යම් ප්‍රගතියක් පෙන්නුම් කරන අතර එම කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක කිරීමේ දී අමෙරිකා එක්සත් ජනපදයට ද වගකීමක් තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා තිබෙන බවත් දෙරටේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ සංචාර තුළින් එය පැහැදිලි වන බවත්ය. මේ වසරේ දී අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සහ සමන්තා පවර් මහත්මිය මෙරට සංචාරය කළ බව සිහිපත් කළ සමරවීර මහතා එමගින් දෙරටේ සබඳතා වර්ධනය වී තිබෙන බවද මේ වනවිට දෙරට අතර වෙළෙඳ, ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමුව තිබෙන බවද පැවසීය.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහත්වරු හමුවීමට නියමිත අතර ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්ෂක ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවීමට නියමිතයි. මේ අතර ඒ මහත්මිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත අතර කොනේෂ්වරන් කෝවිල වැඳපුදා ගැනීමට ද නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය සහ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.