මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක සුවිශාලතම වාරි ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන (18) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. 

මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක සුවිශාලතම වාරි ව්‍යාපෘතිය ලෙසින් සැලකෙන මොරගහකන්ද කළුගඟ වාරි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන ජලාශ පත්ලේ නිදන් තැන්පත් කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් එළඹෙන ජුලි 25 වනදා උත්කර්ෂවත් අයුරින් සිදු කිරීමට නියමිතය.
ජාතික වැදගත්කමකින් යුත් මෙම ව්‍යාපෘතියෙන් මාතලේ, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර 82,000ක් සඳහා යල මහ දෙකන්නයේ ජලය සැපයීමට හැකියාව ලැඛෙන අතර පවුල් 130,000 කට තිරසාර ආර්ථීක ප්‍රතිලාභ හිමි වේ. එසේම මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන විදුලිබල ධාරිතාව මෙගා වොට් 25 කි. එමගින් වාර්ෂිකව රුපියල් මිලියන 336ක ඉන්ධන පිරිවැයක් ඉතිරි කර ගැනීමට රජයට හැකියාව ලැබේ. එසේම මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමත් සමඟ ආකර්ශනීය පාරිසරික කලාපයක් මේ අවට නිර්මාණය වනු ඇත. ඒ තුළින් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගැනීමට හැකි වනු ඇත.
උතුරුමැද පළාත එකම ආර්ථීක කලාපයක් බවට පත්කෙරෙන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය එම කලාපයේ පාරිසරික පද්ධති කෙරෙහි සහ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වන ජනතාව කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක වේ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා මෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහ මාධ්‍යවේදීහූ රැසක් මෙම අවස්ථාව එක්ව සිටියහ.