යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම වාර්තා කිරීමේ දී ජනමාධ්‍ය වගකීමෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් තමා ස්තුතිවන්ත වන බව සම කැබිනට් ප්‍රකාශක පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. ‍යාපනය සරසවියේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බවත්, සිද්ධිය සැලවූ වහාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමැතිවරුන් කණ්ඩායමක් යාපනය විශ්වවිද්‍යාලයට පිටත් කර යැවූ බවත් සඳහන් කරයි. එමෙන්ම උසස් ‍අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද එම සිද්ධිය ඇතිවූ මොහොතේ සිට ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පවසා සිටී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී යාපනය සරසවි ගැටුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.