මෙරට සිවිල් ගුවන් සේවය ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව සංවර්ධනය කරමින් පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බව ජනාධිපතිතුමා පැවසීය.

ආසියා ශාන්තිකර කලාපීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන සමුළුව ඊයේ (01) කොළඹදී ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක උත්සවයට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන ආසියා ශාන්තිකර කලාපීය සමුළුව අගෝස්තු 01 වන දින සිට 05 වනදා දක්වා කොළඹදී පැවත් වේ. ශී‍්‍ර ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙය සංවිධානය කරනු ලබයි.

රටවල් අභ්‍යන්තර ගුවන් ගමන් මෙන්ම දේශ සීමාවන් හරහා සිදු කරන ගුවන් ප‍්‍රවාහනයේ දී නිරුපද්‍රිතබව, සුරක්ෂිතතාවය, ක‍්‍රමවත්භාවය සහ කාර්යක්ෂමතාවය සහතික කිරීම අදාළ රටේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම වේ. සිවිල් ගුවන් සේවාවට අදාළ ජාත්‍යන්තර රීති සහ ප‍්‍රමිති ඒකාකාරී සහ ස්ථීර පදනමක් මත කි‍්‍රයාත්මක කිරීම හා අනුගමනය කිරීමට සාමුහිකව කටයුතු කිරීමේ අරමුණ ඇතිව 1960 වර්ෂයේ මෙම සමුළුව ආරම්භ කෙරිණි.

මීට පෙර 1990 දී 26 වන සමුළුව ශී‍්‍ර ලංකාවේදී පැවැත්වුණු අතර 2016 සමුළුව මෙවර පැවැත්වෙන්නේ දෙවන වරටය. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපීය වැඩසටහනේ අදාළ රටවල සිවිල් ගුවන් සේවා බලධාරීන්ගේ ප‍්‍රධානතම හමුවීම වන්නේ මෙම සමුළුව වන අතර කලාපීය ගුවන් සේවා ප‍්‍රගමනය වෙනුවෙන් ඉතා වැදගත් කරුණු සාකච්ඡා කිරීම මෙවර න්‍යාය පත‍්‍රයට ඇතුළත් වේ.

මෙම සම්මේලනයට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයා හා මහලේකම්වරයා මෙන්ම කලාපීය අධ්‍යක්ෂවරයා ද සහභාගී වේ. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයෙක් හා මහ ලේකම්වරයෙක් ලංකාවට පැමිණෙන්නේ එම සංවිධානයේ 71 වසරක ඉතිහාසයේ ප‍්‍රථම වතාවට වීම ද විශේෂත්වයකි.

මෙහි සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිිවිල් ගුවන් සේවා ක්ෂේත‍්‍රයේ අනාගතයට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීම කෙරෙහි මෙම සමුළුවේ අවධානය යොමු වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

එමෙන්ම සුරක්ෂිතතාව සහ ආරක්ෂණ කළමනාකරණ පද්ධතීන් වර්ධනය කර ගැනීම පිළිබඳව ප‍්‍රතිපත්තින් පසුවිපරම් කරමින් ඒවා යාවත්කාලීන කර ගැනීම කෙරෙහි සියලුදෙනාගේ අවධානය යොමු වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

මෙම සමුළුව ශී‍්‍ර ලංකාවේ ගුවන් සේවාවේ ඉදිරි ගමනට මහඟු අවස්ථාවක් වනු ඇති බව පැවසූ ජනාධිපතිතුමා රටේ සංස්කෘතික, ආගමික සහ සමාජීය කි‍්‍රයාකාරකම් හුවා දක්වමින් රට තුළ සංචාරක කර්මාන්තය ප‍්‍රචලිත කිරීමට ද දායක වනු ඇතැයි සඳහන් කළේය.

ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය ජෝන් අමරතුංග යන මහත්වරුන් ද ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ මධ්‍ය මණ්ඩල සභාපති ආචාර්ය ඔලූමුයිවා බෙනාර්ඞ් අලියු මහතා, මහ ලේකම් ආචාර්ය ෆෑන්ග් ලියු මහත්මිය ඇතුළු විදෙස් නියෝජිතයින් ද සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා ඇතුළු සාමාජිකයින් ද මීට එක්ව සිටියහ.