ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම වැලැක්වීමට කලාපීය සහයෝගීතාවය ලබාගැනීම සඳහා නිල ඉල්ලීමක් සාක් සමුළුවේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.
ජනාධිපතිතුමා මේ බව සඳහන් කරනු ලැබුවේ මෙරටට පැමිණි සිටින පකිස්ථානු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී හමුවූ අවස්ථාවේදී ය.
මෙරට ආරක්ෂක හමුදා නිලධාරීන්ට පුහුණුව ලබාදීමට පකිස්ථානු රජය දැක්වූ සහය වෙනුවෙන් සිය ස්තුතිය පළකළ ජනාධිපතිතුමා, ජාත්‍යන්තර සමුළු වලදී පකිස්ථානු රජය ශ්‍රී ලංකාවට දැක්වූ සහය පිළිබඳව ද සිය කෘතඥතාවය පළ කළේය.
ජීවිත විශාල ගණනක් අහිමි කරමින් පකිස්ථානයේ බලූකිස්ථාන් ප්‍රාන්තයේ අගනුවර වන කුවේටා වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ද ජනාධිපතිතුමා මෙරට රජය වෙනුවෙන් සිය කනගාටුව පළ කළේය.
පකිස්ථානු අගමැති නවාස් ෂරීෆ්ගේ සුබපැතුම් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ එරට ගුවන්හමුදාපතිවරයා, ආරක්ෂක අංශ ක්ෂේත්රයේ දී දෙරට අතර මනා සබඳතාවක් පවතින බවද පැවසීය.
මෑතකදී ඉන්දු – පකිස්ථාන දේශසීමා අසල සිදුවූ අරගල සම්බන්ධයෙන් ද පකිස්ථාන ගුවන් හමුදාපතිවරයා ජනාධිපතිතුමාව දැනුවත් කළේය.
මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ගගන බුලත්සිංහල, පකිස්ථානු මහකොමසාරිස් සෙයිද් ෂකීල් නුසේන් යන මහත්වරුන් සහභාගී වී සිටියහ.