66 වන වරට පැවැත්වෙන බෙල්ලන්විල ඇසල පුණ්‍ය උත්සවය හා පෙරහැර මංගල්‍යය පිලිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (22) උදෑසන මහචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්සේගේ සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ.

අගෝස්තු 21 දින පැවැත්වුණු පළමු මල් පෙරහැරෙන් බෙල්ලන්විල ඇසල උළෙලේ ආරම්භය සිදුවිය. එම මල් පෙරහැර මාලාව අගෝස්තු 24 වනදා දක්වා බෙල්ලන්විල විහාරස්ථානය තුළදී පැවැත්වේ. ප්‍රථම වරට විහාරස්ථානයෙන් පිටතට සර්වඥ ධාතු කරඩුව වැඩම කරවීමේ පාවඩ පෙරහැර අගෝස්තු 25 වනදා පැවැත්වෙන අතර අගෝස්තු 26 වනදා සර්වඥ ධාතු කරඩුව හස්ති රාජයා පිටින් වැඩම කරවන පළමු පෙරහැර වන රන්සිවිලි පෙරහැර පැවැත්වීමට නියමිතය. අනතුරුව එළඹෙන අගෝස්තු 27 වනදා මහා රන්දෝලි පෙරහැර පැවැත්වීමට නියමිත අතර එය දේශීය අභිමානය ලොවට කියාපාන ආකාරයේ උඩරට, පහතරට, සබරගමුව කලා සම්ප්‍රදායන්ට අයත් නර්තන අංගයන්ගෙන් සමන්විත වේ. රන්දෝලි පෙරහැර විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව අගෝස්තු 28 වනදා පැවැත්වෙන දියකැපීමේ පෙරහැර මංගල්‍යයෙන් සහ දේව දානයෙන් අනතුරුව බෙල්ලන්විල ඇසල පුණ්‍ය උත්සවය අවසන් වන බව බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ ප්‍රකාශ කළහ. 

මෙම මහා සංස්කෘතික උළෙල දේශීය අභිමානය ජනිත වන අයුරින් ලෝකයටම සන්නිවේදනය කරන ලෙස මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා මාධ්‍යවේදීන් අමතමින් පවසා සිටියේය.

මෙම අවස්ථාවට ඇසල පෙරහැර කමිටුවේ ගරු ලේකම් කේසරලාල් ගුණසේකර මහතා සහ ඇසල පෙරහැර කමිටුවේ මාධ්‍ය කමිටුවේ සභාපති ආරිය රූබසිංහ මහතාද එක්ව සිටියහ.