නුතන තොරතුරු තාක්ෂණයෙන් ජනමාධ්‍යවේදීන් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ජනමාධ්‍යවේදීන් සඳහා ටැබ් පරිගණක ප්‍රදානය කිරීමේ පළමු අදියර කතානායක ගරු කරු ජයසුරිය මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණ.

මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දකුණු ආසියාවේ හොඳම පාර්ලිමේන්තුව බවට පත්ව ඇති බවත් ඒ සඳහා පාර්ලිමේන්තු පුවත් වාර්තාකරණයේදී මාධ්‍යවේදීන්ගෙන් ඉටුවන සේවය අගය කරන බව මෙම අවස්ථාවට එක් වූ කතානායක ගරු කරු ජයසුරිය මහතා පවසා සිටියේය.

මාධ්‍යවේදීන් ඇමතූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ජනමාධ්‍යවේදීන් අනෙක් පුද්ගලයන්ට වඩා ඉදිරියෙන් තැබීම වැඩ වැදගත් බවයි. එසේම පෑන සහ කොළය අරගෙන වාර්තා කරපු ජනමාධ්‍යවේදීන්ට තාක්ෂණය සමඟ අත්වැල් බැඳ ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව මෙන්ම මාධ්‍යවේදීන්ගේ සුබසාධනය සහ නිසි වැටුප් ක්‍රමයක පිහිටුවීම සම්බන්ධ වූ පනතක් ගෙන ඒම පිලිබඳ අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.