රජයේ නිල තොරතුරු ප්‍රකාශයට පත්කිරීම සඳහා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසිය. අමාත්‍යවරයා මෙම තොරතුරු පවසා සිටියේ ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. 

රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී අංග සම්පුර්ණ, විශ්වසනීය, හා නිවැරදි නිල තොරතුරු මහජනතාව වෙත නිසි වේලාවට ලබාදීමේ රජයේ ප්‍රමුඛ වගකීම ඉටු කිරීම මෙහි අපේක්ෂාව වේ. ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මහජන අදහස් ලබාගැනීම මෙන්ම විද්‍යූත් හා මුද්‍රිත මාධ්‍ය වෙත රජයේ නිල තොරතුරු ලබාදෙමින් රජයේ නිල තොරතුරු ප්‍රකාශක ලෙස කටයුතු කිරීම මෙම මාධ්‍ය මධ්‍යස්ථානයේ කාර්යය වේ.