එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී-මුන් මහතා සහ බැන් සුන්-ටේක් මහත්මිය ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2016 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
අගෝස්තු 31 වැනිදා සන්ධ්‍යාවේ මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත මහලේකම්වරයා, 20 කණ්ඩායමේ (G 20) සමුඵවට සහභාගිවීම සඳහා සැප්තැම්බර් 2 වැනි දා රාත්රියේදී චීනය බලා පිටත්වීමට අපේක්ෂා කරයි.
එතුමා, අගෝස්තු 31 වැනි දින කොළඹ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවන අතර සැප්තැම්බර් 1 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බැහැදැකීමටද නියමිතය.
සැප්තැම්බර් 1 වැනි දා මහ ලේකම්වරයා ගාල්ල බලා පිටත් වනු ඇත. එහිදී, “සංහිඳියාව සහ සහජිවනය: තරුණ තරුණියන්ගේ කාර්යභාරය” යන තේමාව යටතේ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සංසදයකට සහභාගිවීමට නියමිය.
සැප්තැම්බර් 2 වැනි දින, යාපනයේ සංචාරයක නියැලෙන මහ ලේකම්වරයා, එහිදී, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් හා දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් හමු වනු ඇති අතර අවතැන්වු ජනතාව නැවත පදිංචි කිරීමේ ස්ථානයක් නැරඹීමට ද යනු ඇත.
මෙම සංචාරය අතරතුරදී මහලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, කථානායක, කරු ජයසූරිය ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් කීපදෙනක් ද, දේශපාලන පක්ෂ නායකයන් හා සිවිල් සමාජ නියෝජිතයින් ද හමුවනු ඇත.
ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන සඳහා ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ (LKIIRSS) සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලය විසින් කරනු ලබන ආරාධනයක් අනුව මහලේකම්වරයා, “සාමය තහවුරු කිරීම තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම” මැයෙන් සැප්තැම්බර් 2 වැනිදා කොළඹ දී ප්‍රසිද්ධ දේශනයක් පවත්වනු ඇත. මෙහිදී, තිරසාර සංවර්ධනය සඳහා සාමකාමි හා සර්වග්රාහි සමාජ ප්‍රවර්ධනය යන තිරසාර සංවර්ධන ඉලක්ක අංක 16 කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ඇත.