මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමේ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් (Dr.Margaret Chan) මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට ඊයේ (06) දහවල් පිරිනමන ලදී. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු සැසිවාරය පැවැත්වෙන කොළඹ ගොල්ෆේස් හෝටලයේ දීය.
ලංකාවෙන් මැලේරියා රෝගය තුරන් කිරිම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් දියත් කළේය. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත, ක්ෂේත්‍ර කාර්ය මණ්ඩල සහයෝගය ලැබුන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම් 03ක් පසුගිය වසර 03 තුළ අවස්ථා 03ක දී ශ්‍රී ලංකාවට පැමිණ මෙම වැඩපිළිවෙළ නිරික්ෂණය කොට ඇත. මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහා ස්ථාපිත කළ වෙනම ඒකකයක් මගින් මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සමුළුවට එක්ව සිටින රටවල් 11 හි සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනර්ෆි අසුඕමා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා පූනම් චෙට්රපාල් සිං, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ජෙකබි කුමරේෂන් මහත්ම මහත්මීහු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිහූ රැසක් එක්ව සිටියහ.