ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය සැමරීම වෙනුවෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැප්.28 සහ 29 දිනවලදී කොළඹ දී පැවැත්වීමට නියමිත බව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. 

“තොරතුරු දැනගැනීම සහ මාධ්‍ය ප්‍රතිසංස්කරණ” යන තේමාවන් යටතේ පැවැත්වෙන මෙම දෙදින සම්මන්ත්‍රණය සඳහා කලාපීය හා අන්තර්ජාතික විද්වත් නියෝජිතයින් විසිදෙනෙකු පමණ සහභාගිවීමට නියමිතය.

මෙම සම්මන්ත්‍රණය ප්‍රධාන අරමුණු දෙකක් මුල් කර ගනිමින් පැවැත්වෙන අතර, ඉන් පළමුවැන්න වනුයේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කලාපීය හා අන්තර්ජාතික අත්දැකීම් සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමයි. ඒ අනුව, මෙම ජාත්‍යන්තර සමුළුව තුළින් මතු වන වැදගත් කරුණු හා අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇත. තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමේදී පැනනගින ප්‍රායෝගික අභියෝගයන් ජය ගැනීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය වැනි දකුණු ආසියානු කලාපීය රටවල අත්දැකීම් බෙදාහදා ගැනීම ශ්‍රී ලංකාවට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය මුල් කරගත් විශ්වසනීය දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වන ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් ඇති කිරීම මෙම සම්මන්ත්‍රණයේ දෙවැනි අරමුණ වේ. මාධ්‍ය ආචාරධර්ම, නියාමන ක්‍රමවේද, පුහුණුවීම් මෙන්ම නව තාක්ෂණික පහසුකම්වලින් සමන්විත ජංගම දුරකථන (Smart Phone) වැනි මාධ්‍යයන් ඔස්සේ මාධ්‍ය භාවිතය පුළුල් කිරීම වැනි අංශ සම්බන්ධයෙන් ඒ ඒ රටවල් සතු ශක්‍යතාවන් හා දැනුම මෙහිදී හුවමාරු කරගැනීමට අපේක්ෂිතය.

දකුණු ආසියාව මෙන්ම යුරෝපය හා කැනඩාව වැනි රටවල් වලින් පැමිණෙන මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් රැසකගේ දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබා ගැනීමටද මෙහිදී අවස්ථාව උදා වනු ඇත.

එමෙන්ම මෙම සම්මන්ත්‍රණය හා සමගාමීව ලාංකීය ජනමාධ්‍යවේදීන්ට හා ප්‍රවෘත්ති නිලධාරීන්ට ජනසන්නිවේදනය පිළිබඳව විදෙස් පුහුණු අවස්ථා ලබා ගැනීමේ අවස්ථාවන්ද සාකච්ඡාවට බඳුන් කෙරේ. මෙම සම්මන්ත්‍රණයට සහභාගි වන පාකිස්ථානයේ ජනමාධ්‍ය නිපුණතා කේන්ද්‍රයේ සහ (Centre for Excellence Journalism) නවදිල්ලියේ ජනසන්නිවේදනය පිළිබඳ ඉන්දියානු ආයතනයේ (Indian Institute of Mass Communication) ප්‍රධානීන් සමග එම ශිෂ්‍යත්ව ක්‍රමය ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරිම පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.

ඊට අමතරව, මේ වන විට ස්වාධීන මාධ්‍ය කොමිසමක් හා විකාශන අධිකාරියක් ඇති කිරීම සඳහා වන කතිකාවත සමාජගතව ඇති බැවින් ඒ සඳහා මඟ පෙන්වීම් ලබා ගැනීමටද මෙම සම්මන්ත්‍රණය උපකාරී වේ.

මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා අදාළ ක්ෂේත්‍රවල දේශීය වශයෙන් විද්වතුන්ට මෙන්ම, මාධ්‍ය ආයතන හා සිවිල් සංවිධානවලට ආරාධනය කර තිබේ.

මේ සඳහා මහජනතාවටද සහභාගි විය හැකි අතර එම සීමිත ඉඩ ප්‍රස්ථාව ලබා ගැනීම සඳහා www.news.lk හා www.dgi.gov.lk යන වෙබ් අඩවි ඔස්සේ ඉල්ලුම් කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.