එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිය ශ්රී ලංකා වේලාවෙන් අද (20) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ඉතා අභිමානවත් අයුරින් ආරම්භ කෙරිණි.
එක්සත් ජාතින්ගේ මහලේකම් බැන් කී මුන් මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණු සමුළුව සඳහා ශ්රී ලංකා ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු රටවල් 193 ක රාජ්ය නායකයින් සහ නියෝජිතයින් එක්ව සිටිති.
සමුළුවේ ආරම්භක දේශනය එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතා විසින් සිදු කළ අතර සැසියේ ආරම්භක පැය භාගය වෙන්ව තිබුණේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා යන ගමනේ පළමුවෙනි වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙනි.
සැසිය අද සිට 26 වනදා දක්වා පැවැත්වෙන අතර ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා ශ්රී ලංකා වේලාවෙන් 22 වනදා අළුයම සැසිය ඇමතීමට නියමිතය.
ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතන දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර රටේ ප්රජාතන්ත්රවාදය, නිදහස මෙන්ම මානව හිමිකම් තහවුරු කරමින් රට තුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට කැපවූ නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ දේශනය සුවිශේෂි වනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
කරුණු තුනක් හේතුවෙන් මෙවර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය වැදගත් වන අතර ඇමරිකාව හා ජගත් සංවිධානය එක්ව සංවිධානය කරන සරණාගතයින් සහ සංක්රමණිකයින් පිලිබඳ සමුළුව ඉන් එක් කරුණකි.
එමෙන්ම ඇමරිකානු ජනාධිපති බැරක් ඔාබාමා එක්සත් ජාතින්ගේ සමුළුව අමතන අවසන් වාරය මෙය වන අතර වසර 10 ක් එක්සත් ජාතින්ගේ මහලේකම් ධූරය දැරූ බැන් කී මුන් මහතා ද මෙවර මහා මණ්ඩල සැසියේ දී සිය අවසන් දේශනය පැවැත්වීමට නියමිතය.
මේ අතර ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා සැසි වාරයට සහභාගී වූ රාජ්ය නායකයින් කිහිප පළක් සමග අද ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය