ස්වදේශවාදී චින්තනය මුල්කරගත් අන්තර්ජාතික සහයෝගීතාවය පිලිබඳ ජනපති එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරය අමතමින් ලෝක රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු කරයි.
ස්වදේශවාදී චින්තනය පදනම්කර ගනිමින් අන්තර්ජාතික සහයෝගය සහ සාමුහිකත්වය තුළ ලෝකයේ ප්රබුද්ධ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම තම අරමුණ බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමට නව රජය කැපවී සිටින බව ද පැවසූ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලූ පියවරයන් ගන්නා බවද අවධාරණය කළේය.
ස්වදේශවාදී දැක්මක් සහිතව සමාජ ප්රජාතන්ත්රවාදී ගමනකට අද ශ්‍රී ලංකාව මුල පුරා ඇති බවත් ඉතා ඉවසීමෙන් සහ සංයමයෙන් යුතුව එම ගමන යා යුතු බවත් මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එම ඉලක්ක කරා ළඟාවීමට ලෝකයේ සියලූ රාජ්‍යයන්හි හා අන්තර්ජාතික සංවිධානවල සහාය තමා අපේක්ෂා කරන බවද කියා සිටියේය.
2017 වර්ෂය ශ්‍රී ලංකාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ වර්ෂය ලෙස නම් කර තිබෙන අතර ආර්ථීක සංවර්ධනය මුල්කරගත් රටක ජනතාවගේ සියලූ ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනය කිරීමට තමා ප්‍රමුඛත්වය දී තිබෙන බවද ජනාධිපතිතුමා සමුළුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
විශේෂයෙන් පාසල් දරුවන්ට සහ තරුණ පරපුරට පිළිලයක් වී ඇති මත් උවදුර මැඩලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය මීට වඩා යොමු විය යුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා වඩා විධිමත් සහ ශක්තිමත් ජාත්‍යන්තර වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මුන් මහතා ශ්‍රී ලංකාවට ලබාදුන් විශේෂ සහයෝගය පිලිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා සිය කෘතඥතාවය පළ කර සිටියේය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කළ දේශනය සැසියට සහභාගී වූ සියලූ රාජ්‍ය නායකයින්ගේ විශේෂ අවධානයට යොමු වූ අතර මත් උවදුර මැඩලීම පිලිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අනුගමනය කරන සෘජු පිළිවෙත ඇගයීමට ලක් කෙරිණි.