ඉන්දීය සාගරයේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වන ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අවස්ථාව උදා කර ගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා හා නවසීලන්ත ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් පැවසීය.
ඔක්තෝබර් 01වන දා ඕක්ලන්ඩ් නුවර වෙළඳ සහ ව්‍යවසාය මධ්‍යස්ථානයේ පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත ව්‍යාපාරික කවුන්සිල රැස්වීම අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූයේ ඉදිරියට යාමට නම් කුඩා වුව ද, මහා පරිමාණ වුව ද නව ආර්ථික වෙළෙඳපොළ හා නව නිෂ්පාදනය හඳුන්වා දිය යුතු බවය.
නවසීලන්තයේ තෙදින නිල සංචාරය සඳහා ශක්තිමත් දූත පිරිසක් සමග තමා පැමිණියේ දෙරට අතර වාණිජ හා කර්මාන්ත කටයුතු පුළුල් කිරීමේ අවස්ථාවන් පිළිබඳව සොයා බැලීම සඳහා බව පැවසූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා දෙරටේ ස්ථාපිත කිරීමට නියමිත මහකොමසාරිස් කාර්යාල මගින් මෙම වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි බව තමන් විශ්වාස කරන බව ද පැවසීය.
කෘෂිකර්මාන්ත, ධීවර, සත්ව නිෂ්පාදන සහ සංචාරක ක්ෂේත්රය පිළිබඳව නවසීලන්තයේ නව තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගත යුතු ආකාරය පිළිබඳව ද වික්‍රමසිංහ මහතා මෙහිදී පැහැදිලි කළේය.
පසුගිය පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා, නවසීලන්ත ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව දැක්වූ අදහස් ද අග්‍රාමාත්‍යවරයා මෙම අවස්ථාවේදී සිහිපත් කළේය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂිකා සාවිත්‍රී පානබොක්කේ යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.