එකිනෙකා අතර සාමය, සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනගමින් හදවත් සුවපත් කරන විශ්ව භාෂාවක් වූ ක්‍රීඩාව දියුණු කරමින් රටේ සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට කැපවන බව ජනපති අවධාරණය කරයි.
සාමය, සහෝදරත්වය සහ සංහිඳියාව ගොඩනැගීම අරමුණු කර ගනිමින් යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වුණු 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට අද (02) පස්වරුවේ එක්වෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේය.
ක්‍රීඩාපිටිය යනු ජාති, ආගම්, කුල මෙන්ම පළාත් බේදයකින් තොරව සියලූ දෙනාට එක්විය හැකි ස්ථානයක් බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා අශිෂ්ට සමාජය ශිෂ්ට කරන ක්‍රීඩා පිටිය පුද්ගලයින් තුළ විනය සහ හික්මීම ගොඩනගන බවද කියා සිටියේය.
අද අපේ රටට සේම සමස්ථ ලෝකයටම ශිෂ්ටත්වය දැඩිව අවශ්‍ය වී ඇති බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා ලෝකය අද යුද වදින්නේ ශිෂ්ටත්වය නොමැතිකම නිසා බවත් යුද්ධය නැති වී සාමය ගොඩනැගීමටනම් සමස්ථ ලෝකයම ශිෂ්ටත්වය ළගා කර ගත යුතු බවත් කියා සිටියේය.
ගුණ යහපත් මෙන්ම විනයගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ක්‍රීඩා ක්ෂේත්රය වෙනුවෙන් ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට වත්මන් රජය කැපවී සිටින බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සමස්ථ රට තුළම එක හා සමාන සංවර්ධනයක් ඇති කරන අයුරින්ම දිවයිනේ සෑම පළාතකම දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබාදෙන බවද කියා සිටියේය.
ඒ සඳහා අවශ්‍ය ඉහළ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩාංගණ, නවීන තාක්ෂණය ඇතුළු සෙසු පහසුකම් සෑම පළාතක් සඳහාම ලබාදෙන බව ද පැවසීය.
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා දිවයිනේ පළාත් 9 යම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර විශිෂ්ටතා දැක්වූවන්නට ජය සංකේත ප්රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය ඇමතිනි වියජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් සහ පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශාල පිරිසක් සමාප්ති උත්සවයට එක්ව සිටියහ.