යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (02) විවෘත කෙරිණි.

අද පස්වරුවේ යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය සඳහා සහභාගිවීමට ගිය ජනාධිපතිතුමා මේ සඳහා එක් විය.

විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ඉල්ලීම පරිදි මෙම ජල පිරිසිදු කිරීමේ යන්ත්‍ර ලබාදීම සිදුවූ අතර ඉදිරියේදී තවත් යන්ත්‍ර දෙකක් එහි ස්ථාපිත කිරීමට නියමිතය.

විශ්වවිද්‍යාලයට ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන්ගේ තොරතුරු විමසමින් ඔවුන් සමඟ සුහද කථා බහක ද නිරත විය.