පවතින ව්‍යවස්ථාව සංශෝධන කිරීමෙන් සරලව කළ හැකි කටයුත්තකට වත්මන් ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් සකසන්නට යාම දේශපාලන ප්‍රෝඩාවක් ද? අලුත් ව්‍යවස්ථාවෙන් බෙඳුම්වාදයට තල්ලුවක් ලැබේ ද? එළඟු තමිල් යනු ආණ්ඩුවේ දුර්වලතාව කියා පාන්නක් ද? පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන එකී ගැටලුවලට මෙසේ පිළිතුරු දෙයි.
* පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන කළ හැකිව තිබිය දී නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට යාමෙන් රජය ප්‍රෝඩාවක් කරනවා යැයි විපක්ෂය චෝදනා කරනවා. ඒ ගැන ඔබේ මතය මොකක් ද?
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අපි සංශෝධන ගෙනාවා. ඒ වගේම තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් හඳුන්වා දෙනවා. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කළ හැකි සංශෝධන 19වැනි සංශෝධනය තුළින් ගෙනත් තිබෙනවා. නමුත් රටේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට මේ සංශෝධන පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි මැතිවරණ පොරොන්දුවක් ලෙස ලබාදුන් අලුත් ව්‍යවස්ථාව ගේනවා.
විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යනවා ද නැත් ද යන වග තීරණය කිරීම, නව මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කිරීම, මානව හිමිකම් ශක්තිමත් කිරීම, බලය බෙදාහැරීම යනාදී කරුණු රැසක් නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. මේ ක්‍රියාවලියේ ප්‍රෝඩාවක් නෑ. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් අනු කමිටුවලට බෙදා මූලික සාකච්ඡා සඳහා විවර කර තිබෙනවා. අනු කමිටු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මගින් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරනවා.
* නව ව්‍යවස්ථාවට මුවාවෙන් අන්තවාදීගේ අරමුණු ඉටු කරනවා යැයි මතයක් ගොඩනැඟෙමින් තිබෙනවා?
අන්තවාදය ජාතික - වාර්ගික අන්තවාදය ලෙසත් ඒකාධිපති - ෆැසිස්ට්වාදය ලෙසත් මතු වෙනවා. මේ හැම අන්තවාදයකටම මතු වෙන්න 78 ව්‍යවස්ථාව තුළ ඉඩ තිබෙනවා. එක පැත්තකින් ජාතික වාර්ගික ආගමික අන්තවාදය මතුවුණා.එය රට බෙදීම දක්වා තල්ලු වී තිබෙනවා. අනෙක් පැත්තෙන් දැඩි ඒකාධිපතිවාදය ෆැසිස්ට්වාදය මතු වුණා. 78 ව්‍යවස්ථාවෙන් අපි මේ දෙකම අත්විදලා තියෙනවා. දැන් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මේ ප්රශ්නය අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා මේ නව ව්‍යවස්ථාවෙන් සිදු කරන්නේ හැම අන්තවාදයකටම වැට බැඳීමක්.
* බුදු දහමට ව්‍යවස්ථාවෙන් ඊට හිමි තැන අහිමි කරන්න යනවා යැයි බෞද්ධාගමිකයන් හඬ නගනවා නේද?
නැහැ, මේක කියන්නේ බෞද්ධයෝ නෙමෙයි. මේ රටට අවශ්‍ය, නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න යනවිට, යළිත් මේ රටේ ජාතික, ආගමික බේද ඇතිකරන්න උත්සාහ කරන කල්ලියක් තමයි මෙහෙම කියන්නේ. ඒ කල්ලිය බෞද්ධ ජනතාව නොමඟ යවන්න උත්සාහ කරනවා.
* උතුරේ මහඇමැතිවරයාගේ ප්‍රකාශයට විරුද්ධව දකුණේ භික්ෂූන් වහන්සේලා උතුරට ගිහින් උද්ඝෝෂණය කරනවා?
මේ ප්‍රකාශය කළ අයත්, ප්‍රකාශයට විරුද්ධව කලබල කරන අයත් කියන දෙකොටසේම භාවිතාව කුමක් ද කියලා අපි බලන්න ඕන. උතුරේ මහඇමැතිවරයාගේ ප්‍රකාශය අපි හෙළා දකිනවා. ජාති, ආගම්, වර්ගවාදය කියන්නේ වැඩ බැරි දේශපාලනඥයන්ගේ වැඩ බිමක්. උතුරු පළාත් සභාවට බලතල, මුදල් ලැබිල තිබෙනවා. ඒ අයට දැන් තියෙන්නේ වැඩ කරන්න. ඒවා නොකර උතුරේ ජනතාව අතර සිංහල ජනතාවට එරෙහිව, කෝපය, වෛරය, ක්‍රෝධය ඇති කරනවා කියන්නේ, තමන්ට වැඩ කරන්න බෑ කියන එක තමයි. ඒ වගේම පිරිසක් බොහොම වේගයෙන් මහඇමැතිවරයාට විරුද්ධව කටයුතු කරන්න පෙලඹිලා. ඒ අය බලන්නේ දෙමළ ජනයාට විරුද්ධව මතයක් මතු කර ගන්නයි. දකුණේ ඒ අයගේ ක්‍රියාකලාපය ගැන හොඳ අවබෝධයක් අපට තිබෙනවා. උතුරේත් - දකුණේත් ජාතිවාදියා බැලූ බැල්මට මාරාන්තික වෛරක්කාරයෝ වගේ වුණාට එකිනෙකාගෙන් පෝෂණය වන කොටස් දෙකක්. දකුණේ සමගිය ආරක්ෂා නොකරන, හැමදාම දකුණේ වර්ගවාදය, ජාතිවාදය අවුස්සන්න හදපු අය තමයි, මේ සිද්ධියේ දී කලබල වෙලා තිබෙන්නේ. අපි ජනතාවට අනතුරු ඇඟවීමක් කරනවා මේ කොටස් දෙකෙන් ප්‍රවේශම් වෙන්න කියලා.
* ආර්. සම්බන්දන්, සුමන්තිරන් වැනි දේශපාලන නායකයන් උතුරු මහඇමැතිවරයාගේ ප්‍රකාශයට විරුද්ධව අදහස් පළ කර තිබෙනවා නේ ද?
උතුරේ ජනතාව මහඇමැතිවරයාගේ ප්‍රකාශයට එතරම් උනන්දුවෙන් කන් දුන් බවක් පෙනෙන්න නැහැ. ඒ වගේම තමයි උතුරේ ජනමාධ්‍ය මේ ප්රශ්නය හෙළා දැකලා කතුවැකි පවා පළ කළා. දේශපාලන නායකත්වයත් එහෙමයි. ඒකෙන්ම පේනවා ජාතිවාදයට, වර්ගවාදයට, ආගම්වාදයට සිංහල, මුස්ලිම්, දමිළ සමාජය තුළ කිසිම ඉඩක් නැති බව. කිහිප දෙනෙක් මේ ප්රශ්නය අවුලා ගන්න උත්සාහ කළත්, මේ ආණ්ඩුව යටතේ ඒක කරන්න බෑ. ඒකාධිපති ආණ්ඩු තිබුණ කාලේ ඒ දේ කර ගන්නලෙහෙසි වුණත් දැන් ලෙහෙසි නෑ. අද රට වේගයෙන් ප්රජාතන්ත්රකරණයට ලක් වෙලා.
* වැරැදි අර්ථකථන දෙමින් එළඟු තමිල් සිදුවීම ප්‍රචාරණය කරනවා කියලා උතුරු මහඇමැතිවරයා දකුණේ මාධ්‍යයට චෝදනා කරනවා ?
උතුරේ මහඇමැතිවරයා ප්‍රකාශයක් කරලා නැවතුණේ නැහැ. පෙළපාලි සංවිධානය කරලා, හර්තාල් ව්‍යාපාරයක් කළා. මාධ්‍යයේ ප්‍රශ්නයක් මෙතන නැහැ. මම විශ්වාස කරනවා මාධ්‍ය ඉතා හොඳ වගකීමකින් මේ වෙලාවේ හැසුරුණා කියලා. උතුරේ පන්සල් හදනවා, සිංහල ජනතාව බලහත්කාරයෙන් පදිංචිකරනවා, විශ්වවිද්‍යාලවල කලබල කරනවා යැයි මතයක් කාලයක් තිස්සේ හදලා තිබෙනවා. මේක කළේ ජනමාධ්‍ය නෙමෙයි. බංකොළොත් වැඩ බැරි දේශපාලකයන්. කොහොම නමුත් එතුමා කළ ප්‍රකාශයක් වැරැදියට වටහාගෙන තිබෙනවා කියලා කියනවා නම් අපි සතුටු වෙනවා. එහෙම නම් නිවැරැදි ලෙස ජනතාව පෙළගැස්වීමේ වගකීමත් එතුමාටම පැවරෙනවා.
* මහින්ද රාජපක්ෂ මහතා පාද යාත්‍රා ගියා වගේ, ඔවුන්ගේ ප්‍රශ්න රජයට කියන්න තිබෙන ක්‍රමවේදය මෙය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ?
මේ රටේ හර්තාල්, පාගමන් යන්න බාධාවක් නෑ. ඒ නිසා තමයි මහින්ද මහත්තයා නුවර ඉදලා කොළඹට නිරුපද්‍රිතව පාගමනින් ආවේ. උතුරේ මහ ඇමැතිතුමා හර්තාල් කළෙත් ඒ නිසයි. නමුත් පා ගමනෙත් - හර්තාලයෙත් මතු කළ සටන් පාඨ මේ රටේ ජනතාව එකහෙළා ප්‍රතික්ෂේප කළා.
* උතුරේ වෙහෙර විහාරස්ථාන ඉදි කරන්න එපා, හමුදා කඳවුරු ඉවත් කරන්න තමයි ඔවුන්ගේ ප්‍රබල ඉල්ලීම්?
උතුරේ වෙහෙර විහාරස්ථාන කිහිපයක් තිබෙනවා. ඒවා ඉවත් කළ යුතු නැහැ. කවුරුත් දකුණේ හින්දු කෝවිල් ඉවත් කරන්න කියලා කියන්නේ නැහැ. ඒ වගේම උතුරේ හමුදා කඳවුරු කොපමණ ඉවත් කරනවා ද, කොපමණ තියා ගන්නවා ද කියලා තීන්දු තීරණ ගන්නේ රටේ ආරක්ෂක අංශ. හමුදාව සිවිල් කටයුතුවලට මැදිහත් වන්නේ නැහැ. නමුත් උපක්රමික ස්ථානවල කඳවුරු පවත්වා ගැනීම රටේ ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක්. යුද සමයේ හමුදාව බාරයට ලබා ගත් ඉඩම් කඩිනමින් පුරවැසියාට ලබා දෙමින් යනවා. ඒ කාර්යයන් කෙරෙන අතරතුර කඳවුරු අවශ්‍ය ප්‍රමාණයෙන් තබා ගන්න සිදුවෙනවා. ඒවා ඉවත් කරන්න ක්‍රමයක් නැහැ.
* උතුරු - නැඟෙනහිර පළාත් දෙක ඒකාබද්ධ පරිපාලනයකට නතු කළ යුතුය කියන අතරම ඔවුන්ගේ ඉල්ලීම්වලට රජය ඇහුම්කන් දෙන්නේ නෑ කියලා ඔවුන් චෝදනා කරනවා?
පට්ටපල් බොරු, යටිතල පහසුකම් සංවර්ධනය කරලා නැත් ද නැවත පදිංචි කිරීම් කරලා නැත් ද ඉඩම් යළි ජනතාවට ලබාදීලා නැත් ද කියන කාරණා පිළිබඳව උතුරට ගිහින් බලන්න ඕන. බොරු කතා කිය කිය ඉදලා වැඩක් නෑ. පළාත් සභාවට අරමුදල් ලබා දීල තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල් ලබාදීල තිබෙනවා. රජයේ සංවර්ධන වැඩසටහන් විශාල වශයෙන් ඒ පළාත්වලට වෙන් කරලා තිබෙනවා. එසේ තිබියදී කලට වෙලාවට වැඩ ටික කර ගන්න බැරි නොහැකියාව වසා ගන්න ජාතිවාදී සටන් පාඨ කියලා හරියන්නේ නැහැ. අවශ්‍ය වන්නේ තිබෙන වැඩ අවසන් කිරීමයි. උතුරු - නැඟෙනහිර වෙනම පරිපාලන ඒකකයක් හැදෙන්නේ නෑ. පළාත් දෙකටම පළාත් සභා තිබෙනවා. ඒවා අධිකරණය මගින් නිශ්චය කළ ඒවා. ඒවට අත ගහන්න අපි ලෑස්ති නෑ.
* වර්තමාන දේශපාලන පසුබිම බෙදුම්වාදය කරළියට ගෙන ඒමට උදව්වෙනවා කියලා චෝදනාවක් විපක්ෂයෙන් එල්ල වෙනවා?
එහෙම චෝදනාවක් එල්ල වෙනවා යැයි මට පෙනෙන්න නැහැ. බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානය පරාජය කරලා තිබෙනවා. බෙදුම්වාදයට තුඩු දුන් හේතු මොනවා ද ඒවා මේ සමාජයෙන් අයින් කරන්නේ කොහොම ද කියන කාරණා පිළිබඳ අවධානය යොමු කරන්නයි අපි බලන්නේ . එහෙම නැතිව සියලු දෙනාම එකිනෙකාට චෝදනා කරගත යුතු නැහැ. උදාවෙලා තිබෙන ප්රජාතන්ත්රවාදී වාතාවරණ ප්‍රයෝජනයට ගත යුතුයි. දමිළ ජනතාවත් දේශපාලන බලයට හවුල් වෙලා තිබෙනවා. වෙනදා මෙවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා මේ ඇතිවෙලා තිබෙන වාතාවරණය තුළ බෙදුම්වාදයක් ඇති වීමේ ඉඩක් නැහැ. සමහර අයට දේශපාලනය ඉස්මතු කර ගැනීමට බෙදුම්වාදය අවශ්‍ය වෙලා තිබෙනවා. මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් ජනයා බෙදුම්වාදයකට තල්ලු කරන්න කොහෙත්ම මේ රජයෙන් ඉඩක් නැහැ.
* උතුරේ දේශපාලකයන් ඉල්ලන්නේ ෆෙඩරල් ක්‍රමයක්. ඒකට නව ව්‍යවස්ථාවේ ඉඩක් තිබෙනවා ද?
නව ව්‍යවස්ථාවේ බලය බෙදා හැරීම මොකක් ද කියලා තවම සාකච්ඡා කරලා නැහැ. නමුත් ඉන්දු ලංකා ගිවිසුමත් සමග අපේ රට යම් ක්‍රමයට පැමිණිලා තිබෙනවා. ඒ ක්‍රමයට තමයි අපිට යන්න වෙන්නේ. අනෙක් කාරණය තමයි ඉතිහාසයේ රාජාණ්ඩු ක්‍රමය දිහා බලලා නූතන ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමය ගැන හිතන්න යන්න හොඳ නැහැ. රාජාණ්ඩු දිහා බැලුව නිසා තමයි අපේ මිනිසුන්ට වැරැදුණේ. රජ කාලයේ තිබුණේ වැඩවසම්වාදයක්. ඒව ගැන හිතලා ක්‍රියා කළොත් කිසිම ප්‍රශ්නයක් විසඳ ගන්න අපට බැරි වෙයි.
* යහපාලන ආණ්ඩුවෙන් සංහිඳියාවට අවශ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි ඉටු නොවන බවට චෝදනාවක් එල්ල වෙනවා?
අපි පුළුවන් උපරිම ආකාරයෙන් ප්රජාතන්ත්රවාදිකරණය පතුරුවගෙන තිබෙනවා. වර්ගවාදීන්ට, ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට අපේ සමාජය තුළ කිසිම ඉඩක් ලබා දෙන්නේ නැහැ. විපක්ෂ දේශපාලනය පමණක් ඒ තුළ තිබෙනවා. කිසිවකුගෙ අදහස් මර්දන කරන්න යන්නේ නෑ. පුළුවන් තරම් සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව එකට වැඩ කරන තත්ත්වයක් දැන් උදා වෙලා තිබෙනවා.
* උතුරේ කෝවිල්වලට අයත් ඉඩම්වල පන්සල් ඉදිකරමින්, දකුණේ සිංහල ජනතාව ගම්පිටින් එහි පදිංචිකරනවා කියලා ඔවුන් කියනවා?
එහෙම පදිංචි කිරීමක් සිදු වන්නේ නැහැ. එහෙම කිය කිය ඉදලා හරියන්නේ නැහැ. කොහේ ද එහෙම පදිංචි කරලා තිබෙන්නේ කියලා සංඛ්‍යා දත්තත් එක්ක පෙන්වන්න. එහෙම නැතිව බොරු කියලා මිනිස්සු මුලා කිරීම එතරම් සුදුසු නැහැ.