ආසියානු සහයෝගීතා සංවාද සමුළුවේ ප්‍රධාන තේමාවක් වන විද්‍යා තාක්ෂණික සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු සහයෝගිතා සංවාද රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් කථා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ආසියානු සංවර්ධනය යනු විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරිගම බව පැවසූ ජනාධිපති තුමා විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා කලාපයේ රටවල් අතර දැනුම වර්ධනය කර ගැනීම සඳහා වඩ වඩාත් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කර සිටියේය.

නැගී එන ආර්ථිකයක් සහිත රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ අරමුණ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්වීම බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා වේගවත් ආර්ථික ප්‍රගතියක් උදෙසා මහා පරිමාණ ව්‍යාපෘති රැසක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරමින් සිටින බවද පැවසීය. ආසියාව ඉදිරි වසර කිහිපය තුළ ලෝකයේ ආර්ථික මධ්‍යස්ථාන හා මූල්‍ය කේන්ද්‍රය බවට පත්වනු ඇති බවටද මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා කලාපයේ සහයෝගීතාවය තුළින් එම ඉලක්ක සපුරාගත හැකි බවද කිය. මෙම සමුළුවේදී සම්මත කර ගැනීමට නියමිත ආසියානු සහයෝගීතා සංවාද සමුළුවේ 2030 සඳහා වූ දැක්වූ සහ ඒ සඳහා වූ මාර්ග සිතියම තිරසර සංවර්ධනය සඳහා වූ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා බෙහෙවින් උපයෝගී වනු ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කළේය. ආසියානු සහයෝගිතා සංවාද කලාපයට අයත් රටවල සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට ඉමහත් ඉඩකඩක් තිබෙන බවත් එය තිරසාර, සමාජ, සංස්කෘතික හා ආර්ථික වර්ධනය සඳහා උපයෝගී කරගත හැකි බවත් සඳහන් කළ ජනාධිපතිතුමා අද ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනයේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස සංචාරක ‍ක්ෂේත්‍රය හඳුනාගෙන තිබෙන බවද කීය.

ආසියානු සහයෝගීතා සංවාද සමුළුව කලාපය තුළ තිරසාර සාමය මානව ආරක්ෂාව හා සමෘද්ධිය ඇතිකරගැනීමට මනා පිටුවහලක් වනු ඇති බවද පැවසූ ජනාධිපතිතුමා විශිෂ්ට අන්දමින් මෙවර සමුළුව සංවිධානය කර තිබීම පිළිබඳව තායිලන්ත අග්‍රාමාත්‍යවරයාටත් තායිලන්ත රජයටත් සිය විශේෂ ස්තූතිය පළ ක‍ළේය.