ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සංගණන හා සමීක්ෂණ ඇසුරින් විශාල පරාසයක් තුළ දත්ත රැස් කිරීම සිදු කරනු ලබන අතර එමගින් කාර්තුමය වශයෙන් හා වාර්ෂිකව විවිධ දර්ශක ගණනය කරනු ලැබේ. මෙරට ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය හරහා, සංඛ්‍යානමය තොරතුරු නිවැරදිව වාර්තා කිරීමෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත විශාල සහයෝගයක් ලබා දිය හැකිය. තවද, ආයතන මට්ටමින් හා ගෘහ කණ්ඩායම් මට්ටමින් නිවැරදිව දත්ත රැස් කිරීමට මහජනතාව නිසි පරිදි දැනුවත් කිරීම සදහා ද ජනමාධ්‍යවේදීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ.

ඉහත අරමුණු ඉටුකර ගැනීම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව මාධ්‍යවේදීන් වෙනුවෙන් "මාධ්‍ය වාර්තාකරණයට සංඛ්‍යාති භාවිතය˜ තේමාව යටතේ වැඩමුළුවක් සංවිධානය කෙරිණ. මෙම වැඩමුළුව 2016.10.20 වන දින පෙ.ව.9.00 සිට ප.ව. 1.30 දක්වා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වුණු අතර මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් එම්.අයි.එම්. රාෆික් මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ෙජ්. සතරසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ඇලායින් සිබර්නාල මහතාද සහභාගී වූහ.