තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම සදහා මේ වනවිට දිවයින පුරා වැඩමුළු මාලාවක් පැවැත්වීමට පාර්ලිමෙන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ඒ අනුව උතුරුමැද පළාත් රාජ්‍ය නිළධාරීන් සඳහා වන වැඩමුළුව නොවැම්බර් 03 වැනි දින එනම් හෙට දින අනුරාධපුර මිරිදිය හෝටලයේදී උදෑසන 8.30 සිට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතාද හෙට දින වැඩමුළුව සඳහා විශේෂ ආරාධිතයින් ලෙස ස්වකීය දායකත්වය ලබා දීමට නියමිතය. දිවයින පුරා පැවැත්වෙන මෙකී වැඩමුළු මාලාවේ තෙවැන්න වන අනුරාධපුර දිස්ත්‍රික් වැඩමුළුවේදී ගරු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා විසින් ‘තොරතුරු අයිතිවාසිකම පිළිබඳ සංකල්පය සහ එහි ව්‍යාප්තිය‘ මැයෙන් දේශයනයක් පවත්වනු ලබන අතර හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන පියතිස්ස රණසිංහ මහතා විසින් ‘තොරතුරු දැනගැනීමේ පනතෙහි මූලිකාංග හා පොදු අධිකාරීන්හි කාර්යභාරය‘ මැයෙන් දේශනයක්ද පවත්වනු ලබයි.

මීට පෙර මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් වැඩමුළු දෙකක් පැවති අතර අනුරාධපුර වැඩමුළුවට පසුව නොවැම්බර් 04 වැනිදා ගාල්ල රොක් ෆෝර්ට් හෝටලයේදී සිව්වැනි වැඩමුළුව පැවැත්වීමට නියමිතය.