ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සමකාලීනයන්ගේ වැටුප් හා දීමනාවලට අමතරව වසර 55 දක්වා ලබාදුන් දුබලතා වැටුප මුළු ජීවිතය පුරාවට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යුද හමුදාපතිවරයාට නියෝග කර ඇත.

වසර 12 ක සේවා කාලය අවසන් කර විශ්‍රාම ලැබූ රණවිරුවන්ට ලබාදෙන සේවා විශ්‍රාම වැටුප වසර 12 කසේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද ඉදිරියේ දී විශ්‍රාමික දීමනාවක් ලෙස ලබාදීමට කටයුතු කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ යුද හමුදා මූලස්ථානය විශ්‍රාම වැටුප ඉල්ලා උද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවන්ට විසඳුම් මැයෙන් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ ද දැක්වේ.

නියමිත විශ්‍රාම සේවා කාලයට පෙර (වසර 12 සේවයකට පෙර) හමුදා සේවයෙන් සිය කැමැත්තෙන් ඉවත්වන ලද උද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ඉල්ලීම පිළිබඳ අවධානය යොමුකොට ඒ සඳහා අවැසි සියලුම පාලනමය කටයුතු සිදුකරමින් පවතින අතර, මේ ආබාධිත රණවිරුවන් විසින් කරනු ලබන ඉල්ලීම් 2017 වර්ෂයේ පෙබරවාරි මස වන විට දී ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ඇත.

‍මේ වන විට ද මේ ආබාධිත රණවිරුවන් හට ඔවුන්ගේ සමකාලීනයන්ට මෙන්ම වැටුප් හා දීමනාවන් ලබාදෙනු ලබන අතර, ඊට අමතරව දුබලතා වැටුපක් ද ලබාදෙනු ලබයි. මෙතෙක් මේ දුබලතා වැටුප වසර 55 දක්වා පමණක් ලබාදෙනු ලැබූව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය මත එම දුබලතා වැටුප ඔවුන්ගේ මුළු ජීවිතය පුරාවටම බලපාන පරිදි ලබාදීමට කටයුතු සිදුකර ඇත.

එමෙන්ම මේ ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දූ දරුවන් හට අවශ්‍ය බාහිර හා නේවාසික වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් හමුදා රෝහල් වෙතින් අඛණ්ඩව ලබාදෙනු ලබයි.

තව ද නිලධාරීන් සහ සෙසු නිලයන් වෙනුවෙන් ඉටුකරනු ලබන සුබසාධන කටයුතුවල දී ඔවුන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් එම අවශ්‍යතාවන් උදෙසා ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරනු ලබයි.