හෙළයේ මහා ගාන්ධර්වයාණෝ ලෙස විරුදාවලී ලත් පණ්ඩිත් ආචාර්ය අමරදේවයෝ ස්වකීය 88 වැනි දිවිමංසන්ධිය පසුකරමින් සිටියදී නොවැම්බර් 03 වැනිදා පෙරවරුවේ දැයෙන් සමුගත්හ. සිය ජීවන ගමනේදී ලාංකීය ගී කෙත පෝෂණය උදෙසා නැවුම් හෙළ ගී ආරක් බිහිකළ මේ මහා ගාන්ධර්වයාණෝ හෙළ ගීතයේ සදාතනික සම්භාව්‍ය සලකුණ ලෙස ඉතිහාසගත වනු ඇත. 

පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය මහජන ගෞරවය සඳහා අද දින නිදහස් චතුරඝ්‍ර පරිශ්‍රය වෙත රැගෙන ආ අතර හෙට දින ප.ව. 3.00 වන තෙක් එහි තැන්පත් කෙරෙනු ඇත. අනතුරුව රාජ්‍ය ගෞරව සහිත අවසන් කටයුතු සඳහා යුද්ධ හමුදාවට බාර දීමට නියමිතය. එතුමන්ගේ අභාවය හේතුවෙන් ඊයේ දින සිට සතියක ශෝක කාලයක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

එතුමන් වෙනුවෙන් ‘අමරදේව අසපුව‘ නමින් සංගීතාශ්‍රමයක් බිහිකිරීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එළඹෙන දෙසැම්බර් 05 වැනිදා කටයුතු සූදානම් කර ඇත. මැග්සයිසේ, පද්ම ශ්‍රී, කලා කිර්ති, වැනි අති ගෞරවනීය සම්මාන රාශියකින් පිදුම් ලැබූ මේ අසහාය කලාකරුවා භාෂා නිපුණතාවය හා සාහිත්‍ය ඥාණය පෙරදැරිකරගත් ශ්‍රේෂ්ට සංගීතඥයෙකු ලෙස දැයට දායාද කළ නිර්මාණ සම්භාරය ලාංකීය ජනමනස තවත් අනාදිමත් කාලයක් පුරා පෝෂණය කරනු ඇත. ගාන්ධර්ව ශ්‍රේෂ්ටයාගේ නික්ම යාම පිළිබඳ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සාතීශය සංවේගය පළ කර සිටිමු.