පුවත්පත් කලාවේදීන් ආරක්ෂා කර ගැනීමේ කමිටුව(සී.පී.ජේ.) විසින් 2008 දී ආරම්භ කරන ලද ගෝලීය නීති මුක්ති දර්ශකයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. මෙම වාර්තාව සෑම වසරකම නොවැම්බර් 02 වැනිදා පළ කරනු ලැබේ. පසුගිය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ සිව්වැනි ස්ථානය ස්ථානගත කර තිබිණ.

පසුගිය වසර දහයක කාලය තුළ නොවිසදුණු පුවත්පත් කලාවේදීන්ට එරෙහි අපරාධ සංඛ්‍යාව ජනගහනයට සාපේක්ෂව සලකමින් මෙම දර්ශකය ගණනය කරනු ලැබේ. 2016 දර්ශකය සඳහා සැලකිල්ලට ගෙන තිබෙන්නේ 2006 සැප්තැම්බර් 01 වැනිදා සිට 2016 අගෝස්තු 31 දක්වා වූ කාල පරිච්ජේදයයි. දර්ශකයට ඇතුළත් කරනු ලබන්නේ මෙම කාල පරිච්ජේදය තුළ නොවිසදුණු ඝාතන 05 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති රටවල්ය.

මෙවර රටවල් 13 ක් ඊට ඇතුළත් වී තිබේ. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවද ඇතුළුව එම රටවල් සංඛ්‍යාව 14කි. 2015 වසරේදී ලොවපුරා පුවත්පත් කලාවේදීන් 72 ක් මියගොස් ඇත. එයින් සියයට 69 ක් ඝාතනයන්ය. සියයට 31 රාජකාරී අතරතුර සිදුවූ මරණයන්ය. මෙම දර්ශකයේ පළමු ස්ථානය දෙවන වරටත් සෝමාලියාවට හිමිව තිබේ. දෙවන හා තුන්වන ස්ථානවලට පත්ව සිටින්නේ සිරියාව සහ ඉරාකයයි.