දුම්කොළ භාවිතය පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වනු ලබන විශේෂ සමුළුවේ ආරාධිත දේශනය පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.
මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට නවදිල්ලි නුවරදී ආරම්භ කෙරෙන අතර ලබන 12 වනදා දක්වා සමුළුව පැවැත්වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සමුළුවේ ආරම්භක සැසියේදීම සිය විශේෂ දේශනය සිදුකිරීමට නියමිතය.
දුම්කොළ භාවිතය පාලනය කිරීමට ඍජුව ඉදිරිපත් වෙමින් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ආසියාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව වන අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රට තුළ දුම්කොළ භාවිතය අවම කිරීමට ගෙන යන සුවිශේෂි වැඩපිළිවෙළ අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ආරාධනාව සිදු කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ සහ දුම්වැටි පාලනය පිළිබඳ ප්රඥප්තියට අත්සන් තැබූ සියලු රටවල නායකයින් සහ නියෝජිතයින් මෙම සමුළුවට එක්වන අතර දෙවසරකට වරක් පැවැත්වෙන මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ 07 වන වරටය. සිය දෙදින ඉන්දීය නිල සංචාරයේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය ජනාධිපති ප්රනාබ් මුඛර්ජි මැතිතුමා අතර නිල හමුව අද පස්වරුවේ පැවැත්වෙයි.