ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට විදේශ ශිෂ්‍යත්ව ලබාදෙන වැඩසටහනක් ඉදිරියේ දී සකසන බවත් ලබන ජනවාරි මාසයේ සිට ප්‍රාදේශීය මාධ්‍යවේදී නම ඉවත්කොට සියලු මාධ්‍යවේදීන්ට එක හා සමාන හැඳුනුම්පතක් ලබාදෙන බවත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

ආයතනික මාධ්‍යවේදීන් හා පාර්ලිමේන්තුව වාර්තා කරන මාධ්‍යවේදීන් ජනාධිපති, අගමැති, ඇමැතිවරු සමඟ හා වෙනත් ක්‍රම මගින් විදේශ සංචාරයන්ට එක්වන බවත් මාධ්‍ය ආයතනවලට විශාලතම සේවය සිදුකරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට එම අවස්ථා නොලැබෙන බවත් අමාත්‍යවරයා කීවේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ මාතර හා ගාල්ල දිස්ත්‍රික මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ගාල්ල සී ලයින් හෝටලයේ දී පසුගිය 04 වැනිදා පැවැති වැඩමුළුවේ දී එලෙස පැවසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීවේය.

ජනමාධ්‍යය අයුතු විදියට භාවිත කරනවානම් එය ජනතාවට යෝග්‍ය නෑ. මාධ්‍යයේ සිදුවන අවැඩ ගැන අද ජනතාව කතා කරනවා. තමන්ගේ ආයතනයට සිදුවන වානිජ වාසිය ගැන නොසිතා නියාමනයක් සහිතව ලියන්න අවශ්‍යයි. විද්‍යුත් මාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍යයි. ඉදිරියේ දී නියාමනයක් කරන්නේ සියලු දෙනාගේ අදහස් ලබාගෙනයි. ජනතාවට යහපත් දේ ලබාදෙන්න ඉදිරියේ දී ක්‍රියාකරනවා.

හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා හා එකතුවෙලා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට ටැබ් පරිගණක ලබාදෙන්න ක්‍රියාකළා. ඉදිරියේ දී එය පුළුල් කරන්න උත්සාහ කරනවා. මාධ්‍යවේදියා නවීන තාක්ෂණයත් සමඟ පෙරට යායුතුයි. පැක්ස් මගින් වුව ප්‍රවෘත්තියක් ලබාදීම අද ප්‍රමාණවත් නෑ. ඒත් නවීන තාක්ෂණය සමඟ පෙරට යන්න මාධ්‍යවේදීන්ට ලැබෙන වැටුප ප්‍රමාණවත් නෑ. ඉදිරියේ දී සියලු දෙනාට අවම වැටුපක් දෙන පනතක් ගෙන එනවා.

මාධ්‍යවේදීන්ට නිවසක හීනය තිබෙනවා. මේ පඩියෙන් ඒක කවදාවත් කරන්න බෑ. ඉදිරියේ දී නිවාස සිහිනය සැබෑකරන්නත් වැඩපිළිවෙලක් සකසනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස දෙන්න නිවාස ව්‍යාපෘතියක් කරන්න නිවාස ඇමැතිතුමා හා අමාත්‍යාංශ ලේකම් තුමා සමඟ කථාකළා. එහි නිර්නායක හදන්න නිවාස ඇමැතිතුමා අපිට භාරදුන්නා. නිවාසයක් නැති අයට එහි අවසිථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඉඩම් සොයමින් සිටිනවා.

මෙහෙම දෙනකොට මම එකතුවෙලා අල්ලස් දෙනවා කියා කියන්න එපා. එහෙම දුන්නොත් හෙට ලියාවි. මම ඒක හොඳට දන්නවා. පක්ෂ භේදයක් අපේ නෑ. අරෙහෙම ලියන්න, මෙහෙම ලියන්න කියා අපි කියන්නේ නෑ. අපිට දැන් හොඳට ගහනවා. අපි ඊට විරුද්ධ නෑ. අපි දැනගත් තොරතුරු, කනට වැටුණු තොරතුරු ඒ විදියටම ලියන්න එපා. හොදට ගවේෂණය කර බලන්න.

බොහෝ කලක පෙර හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතා තොරතුරු දැනගැනීමේ පනත ගැන කථාකළා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ ගැන කථාකළා. රනිල් වික්‍රමසිංහ මහතා 2001 දී මේ ගැන උනන්දු වුනා. පසුගිය රජය මේ ගැන ගණන් ගත්තේවත් නෑ. එදා රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ සිටිය දී පෞද්ගලික යෝජනාවක් ලෙස මෙය ගෙනාවා. ප්‍රතික්ෂේප කළා. කරූ ජයසූරිය මහතා යෝජනාවක් ලෙස ගෙනාවා එය පරාජයට පත්කළා.

අපේ ආණ්ඩුව ආවා අපි පනත ගෙනාවා. දින සියයේ දී මේක අපිට ගේනන බැරිවුනා. ඒ සියල්ලන්ට අදහස් ප්‍රකාශකරන්න අවස්ථාවක් දුන් නිසයි. මම ඇමැතිවරයෙක් ලෙස ගෙනා පළමු පනත තොරතුරු දැනගැනීමේ පනතයි. එය සියලු මන්ත්‍රීන්ගේ කැමැත්තෙන් සම්මතවුනා.

අපි දැනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාම දැනුවත්කරන්න කටයුතුකළා. බොහෝ අය ආවා. අමාත්‍යාංශ ලේකම්වරු දැනුවත් කළා. දැන් රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත්කරගෙන යනවා. ජනතාව තවම මේ ගැන දැනුවත් නෑ. ඩීසල්, පෙට්‍රල් මිල ඉහළ යාම ජනතාව ක්ෂණිකව දැනගත්තත් මේ ගැන දැනුවත් නෑ. මෙය නිසි ලෙස ක්‍රියාත්මක වන විට ගමේ පාරට කොක්‍රීට් දැම්මම ගමේ මළ ගෙදර ඉදන් එහි අඩුපාඩු විවේචනය කර කර ඉන්නේ නැතිව ඇප්ලිකේෂන් එකක් දමා එහි වියදම් ආදී තොරතුරු ජනතාවට දැනගත හැකියි.

මේ අවස්ථාව අමතා ප්‍රවීණ මාධ්‍යවේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයේ කළමණාකරු ශාන් විජේතුංග, නීතීඥ ජගත් ලියනාරච්චි මහත්වරු ද කථකළ අතර අමාත්‍යාංශ නිළධෘරීන් හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක් ද එක්ව සිටියහ.