ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය දැක ගැනීමේ අරමුණින් නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතීන් සහ පොදුරාජ්‍ය මණ්ඩල ඇමැතිනී බාරෝනස් ඇන්ලේ මහත්මිය අද (08) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
පෙරේදා (06) මෙරටට පැමිණි ඒ මහත්මිය අගමැතිවරයාට අමතරව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද සිවිල් සමාජයේ සාමාජිකයන් හමුවී සංහිඳියාව සහ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම්කර තිබෙන බවද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය පවසයි.
බාරෝනස් ඇන්ලේ මහත්මියගේ පළමු ශ්‍රී ලංකා නිල සංචාරය මෙය වන අතර ඒ මහත්මිය ඊයේ (07) යාපනයේ සංචාරය කරමින් එම ප්‍රදේශයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළාය. ඒ මහත්මිය යාපනය සංචාරය අතරතුර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, පළාත් ප්‍රධාන ඇමැති සී.වී විග්නේෂ්වරන් මහත්වරුන් හමුවී සාකච්ඡා කළ අතර ඊට අමතරව බිම් බෝම්බ ඉවත් කිරීම්වල නිරත පුද්ගලයින් හමුවූ බවද එම මහා කොමසාරිස් කාර්යාලය කියයි.